සුනාමියෙන් අවතැන්වූ වැල්ලවාඩිය ජනතාවට පිළිසරණක් නෑ - GOSSIP9.WORLD

Post Top Ad

සුනාමියෙන් අවතැන්වූ වැල්ලවාඩිය ජනතාවට පිළිසරණක් නෑ

Share This
කුමන ප්‍රදේශයක වුවද මිනිසාට ජීවත්වීමේදී මූලික අවශ්‍යතා රැසක් පවතී. ජලය, නිවාස, ආහාර මෙන්ම අද වන විට විදුලියද මිනිසාට ජීවත්වීමට අත්‍යවශ්‍ය සාධකයක් වී හමාරය.

පිපාසයට පිරිසුදු දිය බිඳක්, ජීවත් වීමට ස්ථිර නිවෙසක්, අධ්‍යාපනය ලැබීමට දරුවන්ට විදුලිය, පාසලක් නොමැතිනම් සැබැවින්ම ඒ ගම්වාසීන්ට මුහුණපාන්නේ දුෂ්කරතා රැසකටය.

සුනාමි ඛේදවාචකය පැමිණ වසර දහහතරක් ගෙවීයන්නට ආසන්න වුවද අදටද ඉන් බැටකන මේ ගම්මුන් අපට හමුවන්නේ නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි.

කෝරලේපත්තුව වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැල්ලවාඩිය ගම්මානයේ සිංහල ධීවර ජනතාව විවිධ දුක්ගැහැටවලට මුහුණ පා සිටින්නේ අද ඊයෙක සිට නොවේ.
අතීතයේ සිටම විවිධ අඩුපාඩුකම් හමුවේ වසර 30ක කුරිරු යුද්ධයෙන්ද පීඩා විඳි වැල්ලවාඩිය සිංහල ධීවර ගම්වාසීන් අද වන විටද ගැටලු රැසකට මුහුණ පා සිටිති.

ගම්මානයේ සිංහල - දමිළ හා මිශ්‍ර පවුල් 125ක සාමාජිකයන් 300කට වැඩි පිරිසක් ජීවත් වන අතර ගමට පිරිසුදු පානීය ජලය නොමැතිකම ප්‍රබල ගැටලුවකි.

සිංහල පවුල් වැඩි පිරිසක්, ජීවත්වන වැල්ලවාඩිය ගම්මානයට පාසලක් පන්සලක් නොමැති වීමද ඔවුන් මුහුණපාන තවත් ගැටලුවකි.


ගම්මානයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ වැල්ලවාඩිය සිංහල කනිෂ්ඨ විද්‍යාලය 1992 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරවලින් නටබුන් බවට පත්වූවද එය මෙතෙක් අලුත්වැඩියා කර නොමැත.

ආගම දහම ඇදහීමේ අයිතිය උල්ලංඝනය වී ඇති සිංහල ධීවරයන්ගේ වැසිකිළි ගැටලුවත් ස්ථීර නිවාස ව්‍යාපෘතියද අඩකින් කප්පාදු වී ඇති බව එම ගම්වාසීහු පෙන්වා දෙති.

"මහත්තයෝ නැඟෙනහිර පළාතේ වැල්ලවාඩිය ධීවර ගම්මානයේ අපි අද ගැටලු ගොඩකට මුහුණදීලා ඉන්නේ. කොටි කලබලවලට අපි මේ ගම් දාලා සරණාගත කඳවුරුවලට ගියා. 2009 න් පස්සේ නැවත අපි මේ ගමට ආවා. හැම සේසතම විනාශ වෙලා. මේ ගමට එද්දී ගමේ අපිට තිබුණු පාසල විනාශ කරලා. මේ ගමේ සිංහල, දමිළ පවුල් 125ක සාමාජිකයන් 300ක් විතර ජීවත්වෙනවා. සියලුම පවුල් වගේ ධීවර රස්සාව කරලා, දැල් ඇදලා, කීයක් හරි හොයාගෙන තමා ජීවත් වෙන්නේ. මේ ගමේ වැන්දඹු පවුල් විතරක් 17ක් ඉන්නවා. ඒ අයට සමෘද්ධියවත් නැහැ.

දෙමළ අයට ආගම අදහන්න කෝවිලක් තියෙනවා. අපේ ආගම අදහන්න පන්සලක් නැහැ. දරුවන්ට ඉගෙන ගන්න තිබුණු පාසලත් කොටි විනාශ කළා. ගමට විදුලි බලය ලැබුණාට ගෙදරට ලයිට් ටික ගන්න පහසුකම් නැහැ. ලාම්පු එළියෙන් තමා රෑ පහන් කරන්නේ. ලාම්පුතෙල්වලට මාසයකට රුපියල් 3000ක් විතර වියදම් යනවා. ඉතිං අපේ ගමේ ගැටලු ගැන සොයලා ඉක්මනින් විසඳුම් ලබාදෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා යැයි තිදරු මවක වන 53 වියැති කේ.ජී. අනුලා මහත්මිය කීවාය.

මහත්තයෝ මේ ගම අද සුනාමියෙන් පස්සේ දෙකඩ වෙලා තියෙන්නේ. 2004 දෙසැම්බර් 26 වැනිදා මේ ගමේ එගොඩ අයටත් මෙගොඩ අයටත් යන්න එන්න තිබුණු පාලම කැඩිලා ගියා සුනාමියට. අද වෙනකම් පාලම හදලා නැහැ. දැන් මේ දෙසැම්බර් 26 වැනිදාට පාලම කැඩිලා ගිහිං අවුරුදු 14ක් ගත වෙන්නත් එනවා. පාලම කැඩුණු හින්දා අපිට එහා කොටසේ ගෙදරකට යන්න වුණොත් කිලෝමීටර් 04ක් විතර රවුමෙන් යන්න වෙන්නේ. පාලම හදලා දෙන්නම් කියලා ඔය අවුරුදු 14 ඇතුළත දහවතාවක් විතර ඇවිත් බලලා ගියා. දැන් ඒ නිලධාරීන් පැත්ත පළාතේ එන්නේ නැහැ. පාලම කැඩිලා ගිය නිසා අපේ ගමේ සමඟිය, එකමුතුකම හිතවත් කම් පවා නැතිවෙලා.

අපිට පාලම හදලා දුන්නොත් එගොඩ ගෙදරකට යන්න වීල් එකට යන වියදම් පවා ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. හදිසියකට එහා කොටසේ ගෙදරකට යන්න වුණොත් ත්‍රීවීල් ගාස්තුව රුපියල් 100ක් 200ක් විතර ගෙවලා තමා යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට රජයෙන් පාලම හදලා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වැල්ලවාඩිය ගම්මානයේ පදිංචි සිවුදරු මවක වන 55 වියැති ඩී.එම්. මාලනී කුරේ මහත්මිය පැවැසුවාය.
වැල්ලවාඩිය ගම්මානයේ පොදු අඩුපාඩු පිළිබඳ අදහස් දැක්වූ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති එස්. තවරාසා මහතා,

මේ ගම්මානයේ ගොඩක් ජීවත් වෙන්නේ බුද්ධාගම අදහන අය. කතෝලික අයට පල්ලියක් තියෙනවා. හින්දු අයට කෝවිලක් තියෙනවා. නමුත් සිංහල බෞද්ධ අයට පන්සලක් නැහැ. බෞද්ධ අය වෙනුවෙන් විහාරස්ථානයක් ඉදිකර ගැනීමට කවුරුන් හෝ මැදිහත් වෙනවා නම් අපිත් සතුටුයි. අපි ඒකට උදවු කරනවා. හින්දු ආගම අදහන අයකු වුවද එස්. තවරාසා මහතා එලෙස පැවසුවේ මුවින් සතුටු සිනාවක් මතු කරමිනි. අපි අද මේ ගම්මානයේ සමඟියෙන් ජීවත් වෙනවා. ගමට නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා රජයෙන් නිවාස ව්‍යාපෘතියක් ලබා දුන්නා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය මඟින් නිවාස 50ක ව්‍යාපෘතියක් ලැබුණත් ඉදිවන්නේ නිවාස 27යි. එක නිවෙසකට රුපියල් ලක්ෂ අටක් වියදම් කරනවා. මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල අධීක්ෂණය යටතේ තමා මේ නිවාස ව්‍යාපෘතිය හැදෙන්නේ. නමුත් නිවාස 23ක් කොහොම පාස් වුණාද කියලා ගමේ අපි කවුරුත් දන්නේ නැහැ. අපි මේ ගැන මඩකළපුව දිසාපතිතුමියගෙන් ඇහුවා.

එතකොට කීවේ නිවාස 27ක් ඉදිකරන්න විතරයි මුදල් ලැබිලා තියෙන්නේ කියලා. එතකොට එයින් වැල්ලවාඩියට නිවාස 25 කුත්. කල්කුඩාවල නිවාස දෙකකුත් ඉදිකරනවා කීවා. අපි මේ සැක සිද්ධිය ගැන හරියටම අහන්න නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් මුරලිදරන් මහත්මියට කතා කළා. එතකොට එතුමිය කීවා ගමට නිවාස 33ක් පාස් කරලා තියෙනවා. නිවාස 17ක් තව ලබාදීමට සූදානම් කරලා තියෙනවා කියලා. එතකොට නිවාස හයකට වුණු දෙයක් නැහැ. මේ ගැනත් වහාම පරීක්ෂණයක් කරන්න කියලා ගම්මුන් හැටියට අපි ඉල්ලා සිටිනවා. 2016.08.16 වැනිදා අපිට නිවාස 33ක් ලබාදී ඇති බව පළාත් ආණ්ඩුකාර ලේකම්තුමිය ලිඛිතව දැනුම්දී තිබියදී අනිත් නිවාස හයට මොකද වුණේ කියලා අපි අහනවා" මේ ගමට අපි නැවත පදිංචියට එද්දී කීවා සියලුම පහසුකම්, පොදු ප්‍රශ්න විසඳලා දෙනවා කියලා. නමුත් ගමට ලැබෙන වරප්‍රසාද අපිට අහිමි වන කොට අපිට කියන්න තියෙන්නේ මාධ්‍ය විතරයි. නිලධාරීන්ට බලධාරීන්ට කීවට පලක් නැහැ. පත්තරවල - ටී.වී.වල අපිට වෙන අසාධාරණ කම් නිසාම තමා කාගෙත් ඇස් ඇරෙන්නේ. අපේ ගමේ ජීවත්වන සිංහල - දමිළ අයගේ පොදු ගැටලුවලට විසඳුම් දෙන්න දැන්වත් ජනාධිපතිතුමා, අගමැතිතුමා මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරවලට ගොදුරු වූ වාලච්චේන වැල්ලවාඩිය ධීවරයන්ගේ කඳුළු කතාව හමාර කරන්නට මෙතෙක් කිසිවකුත් සමත් වී නොමැත. වසර 12කින් පසු ඔවුන් අදටද සුනාමි ඛේදවාචකයේ පල විපාකවලට මුහුණපාති. තම දරු පැටවුන්ගේ ජීවිත පෝෂණය කර අධ්‍යාපනයෙන් ඔවුන්ගේ අනාගතය පෑදීමට මේ සිංහල ධීවර ජනතාව ජීවිතයත් - මරණයත් අතර කරන සටන නිමාවන්නේ කෙදිනකද?

මෙකී ගම්මුන්ගේ ජීවිතවලට යම් ආලෝකයක් වීමට හැකි යැයි යන විශ්වාසය පෙරදැරිව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර නාහිමියන්, දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් එහි වැඩම කරන්නේ ආගමට ජාතියට ඇති අපරිමිත කරුණා ගුණය නිසාවෙනි.

පොදු ගැටලුවලින් මෙන්ම ඉඩම් පිළිබඳ ප්‍රධාන ගැටලුවෙන් මිරිකී සිටින නැඟෙනහිර පළාතේ සිංහල ජනතාව මුහුණ පාන සිද්ධීන් සම්බන්ධ කතා කළ දේවගල දේවාලංකාර නාහිමියන්
අපවත් වී වදාළ අපේ මාතර කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවෝ ජීවත්වෙලා ඉද්දී සිංහල ජාතිය, ආගම පිළිබඳව හොඳට හොයා බැලුවා. උන්වහන්සේ දිඹුලාගල නායක හාමුදුරුවෝ ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වෙලා ජාතික, ආගමික, ශාසනික සේවාවක් කළා.

අපිත් ගෝල භික්ෂුන්වහන්සේ හැටියට නැඟෙනහිර පළාතේ සිංහල ජනතාව මුහුණ දෙන ගැටළු සොයා බලා ඒවා විසඳ ගැනීමට බලධාරීන් සමඟ ගැටෙන්නේ ජාතිය, ආගම වෙනුවෙන්. අද වනකොට එදා කොටි කලබල නිසා මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් වැහිලා නටබුන් වෙලා බෞද්ධ ජනතාවට තමන්ගේ ආගම අදහන්න පන්සලක් නැහැ. එරාවුර්, මයිලන්කරච්චි, වැල්ලවාඩිය, මඩකළපුව නගර සිංහල විද්‍යාල තවමත් වහලා දාලා. පළාතේ සිංහල දරුවන්ගේ අධ්‍යාපනයේ ඉරණම හරිම අවාසනාවන්තයි. සිංහල ජනතාවට මේ පළාතේ ඇතැම් දමිළ නිලධාරීන්ගෙන් කෙනෙහිලිකම් අනන්ත අප්‍රමාණ වෙනවා. සිංහල ජනතාවගේ නිජබිම්, කිහිප දෙනකු අල්ලාගෙන වාණිජ වටිනාකම් ඇති ඉඩම් විකුණනවා. මේ තත්ත්වය වහාම නතර විය යුතුයි.

වැල්ලවාඩිය සිංහල ගම්මුන්ට වගේම පුන්නකුඩා සිංහල ජනතාවට ඇතැම් දමිළ නිලධාරීන්ගෙන් අකටයුතුකම් බරපතළ අයුරින් වෙනවා. අද වන විට වැල්ලවාඩිය ගමට පන්සලක් නැහැ. සුනාමියට පාලම කැඩිලා. ඒක තවම හදලා නැහැ. නැඟෙනහිර සිංහල ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට පළාත් ආණ්ඩුකාරතුමා, පළාත් ඉඩම් ඇමැතිවරිය ඇතුළු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශාල පිරිසක් ලොකු වෙහෙසක් ගන්නවා. ජනාධිපතිතුමාගෙන් වගේම අගමැතිතුමාගෙන් දිඹුලාගල ගරුතර මහ සංඝරත්නය හැටියට අපි ඉල්ලා සිටිනවා නැඟෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, පාසල් නොමැති කම්, පන්සල් නැති ගම්මාන වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා"

දැනට නැඟෙනහිර පළාතේ කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ වගේම ගම්මානවල යටිතල පහසුකම්, පන්සල්, පාසල් ටිකත් කඩිනමින් ඉදිවුවහොත් නැඟෙනහිර සිංහල ජනතාවට ලොකු සහනයක්. දේවගල දේවාලංකාර නාහිමියන් මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේත්, රජයේ සියලු බලධාරීන්ගේ අවධානය පිණිසත් එලෙස ප්‍රකාශ කළහ.

මඩකළපුව, වාලච්චේන, වැල්ලවාඩිය ධීවර ජනතාව සුනාමි ව්‍යසනයට මුහුණ දී 2018 දෙසැම්බර් 26 වැනිදාට වසර 14ක් ආසන්න වන මොහොතේ ඔවුන්ගේ මෙන්ම නැඟෙනහිර සිංහල ගම්වාසීන් නඟන චෝදනා පිළිබඳව අප මඩකළපුව දිස්ත්‍රික් ලේකම් පී.ඒ.ජී. චාල්ස් මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙලෙස කීවාය.

"වැල්ලවාඩිය ධීවර ජනතාවගේ ගැටලුවලට අපි උපරිම උත්තර දීලා තියෙනවා. තව පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඒවාටත් අපි විසඳුම් ලබා දීමට රජය හරහා මැදිහත් වෙනවා. නැඟෙනහිර සිංහල ජනතාවටත් අපි උපරිම සේවය කරනවා. දුරකථනයෙන් මට ඕවාට පිළිතුරු දෙන්න බැහැ. බදාදාට ඇවිත් හමුවෙන්න.

No comments:

Post a Comment

Post Bottom Ad