ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක - GOSSIP9.WORLD

Post Top Ad

ටී.බී. සුබසිංහ දියණියන් ගාමිණී ජයවික්‍රම පිළිබඳ මතකාවර්ජනයක

Share This
ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අතීත දේශපාලනය ගැන ලියූ සත්‍ය සටහනක් අප වෙත ලැබී තිබේ. එය අප වෙත එවා තිබෙන්නේ එදා 1978 වසරේදී කටුගම්පොළ ආසනයෙන් තරග කර ජයවික්‍රම පෙරේරා මහතාට පරාජය වූ ටී.බී. සුබසිංහ මහතාගේ දියණියන් දෙදෙනා විසිනි.

ගාමිණී ජයවික්‍රම වැනි මහත්මා දේශපාලනයේ යෙදුණු අයෙකුට ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුව වැනි වියරු වැටුණු කෝලම් මඩුවක් ගැළපේද යන ගැටළුව මෙම සටහන කියවන විට අප තුළ නැගුණේය. කළ යුත්තේ ගාමිණී ජයවික්‍රම වැනි මිනිසුන් තවත් සිය ගණනින් බිහි කරවා ගැනීම මිස, අයාලේ යන, වාසි පැත්තට හුරේ දමමින් මහජන පීඩා ඇති කරන, මහජන දේපළ විනාශ කරන නොමිනිසුන්ට උත්තරීතර පාර්ලිමේන්තුව තුළ යකා නටන්නට ඉඩ දීම නොවේ.

පහත දැක්වෙන්නේ ටී.බී. සුබසිංහ මහතාගේ දියණියන් දෙදෙනා විසින් අප වෙත එවා ඇති සටහනේ සිංහල පරිවර්තනයයි.

‘‘පාර්ලිමේන්තුවේ සිදුවූ ජුගුප්සාජනක සිදුවීම් මාලාව නැරඹූ මිලියන ගණනක් අය අතර අපි ද සිටියෙමු. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට සිදුවූ දෙය දකින විට මාගේ සොයුරිය ස්වීනීතා සහ මා හට සිතුණේ ඔහු පිළිබඳ අපගේ මතකයන් බෙදා ගනිමින්, ඔහු කෙරෙහි අප තුළ ඇති ගෞරවය කියා සිටිය යුතු බවයි.

ජයවික්‍රම පෙරේරා මහතා 1978 වසරේ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කටුගම්පොළ ආසනයෙන් අපේ පියා වන ටී.බී. සුබසිංහ පරාජය කරමිනි. එම මැතිවරණයෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් හටගත්තේය. මගේ පියාගේ සොහොයුරා වන වින්සන්ට් සුබසිංහගේ නිවසට බස් රියකින් පැමිණි නාඳුනන පුද්ලයන් පහර දෙමින් සිටින බවට පණිවුඩය ලැබෙන විට ද මගේ පියා සහ අපගේ ස්වාමිපුරුෂයන් සිටියේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ය. මගේ පියා, ඔහුගේ සොහොයුරාගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සඳහා අපේ සැමියන් පොලිස් ස්ථානය වෙත යැව්වේය. නමුත් අවාසනාවකට මෙන් පොලිසිය එදින ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තේ සුනංගු වෙමිනි. ආපසු නිවසට එන ගමනේදී මගේ පියා ජයවික්‍රම පෙරේරා මහතාට දුරකථන ඇමතුමක් දී සිදුවන දෙය ඔහුට දැනුම් දුන්නේය. ඔහු පැවසුවේ තමන් දේශපාලනඥයෙක් වුවත්, කිසිදා දේශපාලනය නොකළ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් දේශපාලනයෙන් ඈත් වී සිටි වින්සන්ට් සුබසිංහට මේ ආකාරයෙන් සැලකිය නොයුතු බව සහ, මහජනතාවගෙන් ලැබෙන ඕනෑම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි. අප දන්නා ඊළඟ දෙය වන්නේ ජයවික්‍රම පෙරේරා මහතා පුද්ගලිකවම අපේ බාප්පාගේ ගෙදරට ගොස්, කලහකාරීන් පාලනය කර, ඔවුන් ලවා බාප්පාගෙන් සමාව ඉල්ලා සිටි බවය. 

ඔහු එයින් නොනැවතුණේය. පිටුපස එන තවත් වාහනයක් සමග බසයක් පුරවා ජනතාව කන්ද දිගේ අපේ නිවසට එන විට අපට දැනුණු භීතිය අපට තවමත් මතක ය. මගේ පියාගේ ආධාරකරුවෝ අපව ආරක්ෂා කිරීම සඳහා සූදානම් වූහ. වාහන නිවසට ළඟා වූ විට ජයවික්‍රම පෙරේරා සිය රථයෙන් බැස්සේය. බසයේ සිටි මිනිසුන්ට ද එයින් බසින ලෙස කීවේය. ඉන්පසු සියල්ලන්ටම ඇසෙන ලෙස ඔහු පැවසුවේ තමන් දේශපාලනයට පිවිසියේ අද දිනයේ සිදුවූ අන්දමේ මැරක්‍රියාවන්වලට සම්බන්ධ වීමට නොවන බවයි. එසේම ඔහු සහ මගේ පියා ගෞරවනීය දේශපාලන ව්‍යාපාරයක නිරත වූ බවත්, එදින දුටු ආකාරයේ හැසිරීමක් තමන් කිසිවිටෙක නොඉවසන බවත් ඔහු කීවේය. ඒ හැසිරීම සම්බන්ධයෙන් මගේ පියාගෙන් සමාව ගන්නා ලෙස ද ඔහු පැවසුවේය. අවසානයේ ඔවුන් අපේ නිවසින් පිටව ගියේ සාමකාමී ලෙස ය.

එයින් අනතුරුව කටුගම්පළ ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ නැත. අප විශ්වාස කරන්නේ එය සිදුවුණේ ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහී විරුද්ධවාදියා විසින් පළ කළ මහත්මා හැසිරීම නිසා බවය.

මේ අත්දැකීම මහජනයා සමග බෙදා හදා ගැනීමට සුදුසුම කාලය මෙය බව මමත් මගේ සොයුරියත් විශ්වාස කරමු.

අපි, අපේ පවුල් සමග එක්ව ගාමීනී ජයවික්‍රම පෙරේරා මහතාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර, සාමකාමී අනාගතයක් ද ප්‍රාර්ථනා කරන්නෙමු. අපේ පවුල, ඔහු සහ එදින ඔහු කළ කී දෑ සිහිපත් කරන්නේ ගෞරවයෙන් යුතුව ය.



- සරෝජිනී කදුරුගමුව සහ ස්වීනීතා පෙරේරා

No comments:

Post a Comment

Post Bottom Ad