වැරැදි වුණා මේකෙදිවත් වෙනසක් කරනවා - ලක්මාල් ඉහළම තැනට යන්න රූට් එක හදා ගත්තා - රූට් - GOSSIP9.WORLD

Post Top Ad

වැරැදි වුණා මේකෙදිවත් වෙනසක් කරනවා - ලක්මාල් ඉහළම තැනට යන්න රූට් එක හදා ගත්තා - රූට්

Share This

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (23දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර මින් පෙර ගාල්ලේදී සහ පල්ලෙකැලේදී පැවැති ටෙස්ට් තරග දෙකම ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම මෙම ටෙස්ට් තරගයෙන්ද ජයගත හොත් තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් 3වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම ලෙසද ඔවුන් වාර්තා අතරට එක්වනු ඇත.

මේ අතර අදින් ඇරැඹෙන තෙවැනි ටෙස්ට් තරගයෙන්ද ජයගෙන මෙකී වාර්තාව තමන් සතුකර ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත් මේ වන විට විශේෂයෙන්ම තම දඟ පන්දු යවන්නන් දක්වන දක්‍ෂතා අනුව එම ඉලක්කය පහසු එකක් වනු ඇති බවත් විදෙස් මාධ්‍යයක් ඔස්සේ අදහස් දක්වමින් එංගලන්ත නායක ජෝ රූට් පවසා තිබිණි. ඕස්ට්‍රේලියාව 2004 වසරේදීත් ඉන්දියාව පසුගිය වසරේදීත් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ වාර්තා කර ඇත. එසේ ශ්‍රී ලංකාව පරදා 3-0 ක් ලෙස මෙම ටෙස්ට් තරගාවලිය අවසන් කිරීමට හැකියාව ලැබුණහොත් ලෝක ටෙස්ට් ශේ්‍රණිගත කිරීමේ ලැයිස්තුවේ 2වැනි ස්ථානයට පැමිණ සිටින තම කණ්ඩායමට එහි පළමු ස්ථානයට යැමට මාවත විවර වී ඇතැයිද පැවැසූ එංගලන්ත නායකයා " මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව අපිට ඊළඟ ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාවට යන්න තිබුණා නම් අපිට ඒකත් ඉතාම පහසු එකක් කරගෙන අංක -1 ස්ථානයට යන්න තිබුණා. හේතුව ශ්‍රී ලංකාවේදී අපේ දඟපන්දු යවන්නො මේ කලාපයේ තණතීරුවලට ඉතා හොඳින් අනුගත වෙලා දස්කම් පෙන්වපු නිසා ඉන්දියානු පිතිකරුවන්ට වුවත් ලොකු තර්ජනයක් එල්ල කරන්න හැකි තත්වයකයි ඉන්නෙ" යනුවෙන් පවසා ඇත.

තවද තම කණ්ඩායම සතුව සිටින අය අතර වැඩි ප්‍රමාණයක් තුන් ඉරියව් දක්‍ෂතාවලින් හෙබි ක්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවූ බවද ජෝ රූට් පවසා ඇති අතර වේග පන්දු යවන සෑම් කරන් වෙනුවට අද තරගයට කැඳවා ඇති ජොනි බෙයාර්ස්ටෝ එංගලන්ත ඉනිමේ අංක-3 පිතිකරුවා ලෙස යොදවා ගැනීමට නියමිත බවද පැවැසේ. ඒ අනුව මෙම තෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරණය තවත් ශක්තිමත් වන අතර අද තරගයට පෙර ඊයේ (22දා) මාධ්‍ය හමුවකට සහභාගී වූ ශ්‍රී ලංකා වැඩබලන නායක සුරංග ලක්මාල්ද කියා සිටියේ වර්තමානයේදී දඟපන්දු යවන්නන්ට එරෙහිව ලොව සිටින වඩාත්ම හොඳ ටෙස්ට් කණ්ඩායම එංගලන්තය බවයි.

අකිල ධනංජය වෙනුවට වමත් පිටදඟ පන්දු යවන්නකු වන නිෂාන් පීරිස් කණ්ඩායමට කැඳවා ඇතත් තවමත් අවසන් ක්‍රීඩකයන් එකොළොස් දෙනා තෝරාගෙන නොමැති බවද කී ලක්මාල් ඇසූ පැනයන්ටද පිළිතුරු දෙමින් " පසුගිය ටෙස්ට් තරග දෙක පැරැදුණත් මෙම තරගයේදී වෙනසක් කළ යුතුයි කියන යහපත් මානසිකත්වයක අපේ කණ්ඩායම ඉන්නවා. පසුගිය තරග දෙකේදීම එංගලන්ත මුල් කඩුලු 5 ඉක්මනට දවා ගත්තත් ඔවුන්ගේ අවසන් පිතිකරුවන් පස්දෙනා ඉහළ ලකුණු සබඳතා පවත්වපු එක අපිට අවාසියට හිටියා. ඒ තත්වය වෙනස් කරන්න මේ තරගයෙදී සැලැසුමක් තිබෙනවා. අපේ පිතිකරණයේ පසුබෑමක් ඇති බව පිළිගන්නවා.

කුසල් මෙන්ඩිස් ගැන කිව්වොත් මම නායකයා විදියට ඉන්නවා නම් කුසල් මගේ කණ්ඩායමේ ඉන්නවා. මොකද හේතුව චන්දිමාලුත් කණ්ඩායමේ නැති නිසායි. මෑතකදී අපි ජයගත් ටෙස්ට් තරගාවලි දෙස බැලුවොත් කුසල් මෙන්ඩිස් ඊට ප්‍රබල දායකත්වයක් දක්වා තිබෙනවා. එවැනි දක්‍ෂ ක්‍රීඩකයෙක් හොඳට කරන වෙලාවට වඩා ඔහු නරකට කරන විටදි තමයි අපි ඔහුව දිරිමත් කරගෙන යන්න ඕන. " යනුවෙන් පැවැසීය. කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමුවට පැමිණි ජෝ රූට් යළිත් කියා සිටියේ ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට කටයුතු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad