[ගොසිප්9 ඇස] කටහඬ අනුව තීන්දු ගැනීමේ පූර්වාදර්ශය හිටපු කතානායක චමල්ගෙන් - GOSSIP9.WORLD

Post Top Ad

[ගොසිප්9 ඇස] කටහඬ අනුව තීන්දු ගැනීමේ පූර්වාදර්ශය හිටපු කතානායක චමල්ගෙන්

Share This
ගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ආ ආකාරය සහ එය සම්මත වූ ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. එමෙන්ම ජනාධිපතිවරයා ද එම තීරණය භාරගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

ඊට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ විද්‍යුත් පුවරුව භාවිතා කරමින් හෝ එක් එක් මන්ත්‍රීවරයාගේ නම ප්‍රකාශ කරමින් ඡන්ද ලබා ගැනීම හැර කටහඬ අනුව කතානායකවරයාට තීරණයක් ගත නොහැකි බවයි. මේ බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ සඳහා පූර්වාදර්ශ ලබා දී ඇත්තේ ද හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ම විසිනි.

2011 වසරේ ජුනි 21 වැනිදා එවකට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා විසිනි. එදිනට පෙර මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින් ඒ සඳහා දැඩි විරෝධය එල්ල කළ අතර ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කළේ එය ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ යෝජනාවක් ලෙස එය ඉදිරිපත් නොවූ බැවින් 21 වැනිදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව කරු ජයසූරිය මහතාට වචනයක් හෝ කතා කරන්නට ඉඩ නොදුන් අතර යෝජනාව ස්ථිර කිරීමට නැගී සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද ස්ථිර කිරීම හැර කිසිදු අදහසක් ඉදිරිපත් කිරීමට එවක කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් අවසර නොලැබිණි.

ඉන්පසු ආණ්ඩු පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා බෙදීමක් අවශ්‍ය බව ඉල්ලා සිටි අතර කතානායකවරයා ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂය මෙම යෝජනාවට විරුද්ධ බැවින් කටහඬ අනුව තීරණය ලබාදෙන බවයි.

ඒ අනුව කතානායකවරයාගේ තීරණය වූයේ කරු ජයසූරිය මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පරාජයට පත් වූ බවයි.

එහෙත් අද මහින්ද පාර්ශ්වයට එය සිදුවීම අමතක වී ඇති අතර එදා චමල් රාජපක්ෂ කතානායකවරයාගේ තීරණය පිළිගත් ඔවුන් අද කරු ජයසූරිය මහතාගේ තීරණය නීතිවිරෝධී, ස්ථාවර නියෝගවලට පටහැනි තීරණයක් බව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad