My mother played a woman who lived to tread on - GOSSIP9.WORLD

Post Top Ad

My mother played a woman who lived to tread on

Share This

මගේ අම්මා පොළොවේ පය ගහලා ජීවත් වුණු ගැහැනියක්

 

"මමයි පියයි එකතු වෙලා, ගහයි වැලයි" සේ, කාටවත් හුරු පුරුදු ඒ ලයාන්විත ගීතය ගයන ඇය මහා වෘක්‍ෂයක් සේ අෑ පසුපස සිටින මවට අසීමිතව ආදරය කරනවා. අහස වැනි වූ මවු සෙනෙහස විඳි ඇය මවගෙන් ලැබූ දේ බොහෝයි.
පුෂ්පා පීරිස් නම් වූ ඒ මහා වෘක්‍ෂය අදටත් ජීවමාන බව ඇය සිතන්නෙත් ඒ නිසාමයි.
අම්මා ගැන "ආදරණීය හැඟීමක්" වැඩියෙන් ඇති වුණු දවස මතකද?
මම හිතන්නේ තේරෙන කාලේ ඉඳලම මේ මගේ අම්මා කියන හැඟීම මට දැනුණා. වැඩිහිටියෙක් වෙද්දී මම අම්මාව විශ්ලේෂණය කළත් "මගේ අම්මා" කියන හැඟීම, නැති වුණේ නැහැ. අම්මා ගැන මට දැනුණ හැඟීම, සෙනෙහස වෙනසක් වුණේ නැහැ.
අම්මා තුළින් දැකපු විශේෂ චරිත ලක්‍ෂණ මොනවද?
මම හිතන්නේ අම්මා හරි නීතියට කෙළින් වැඩ කරපු කෙනෙක්. මගේ අම්මා එයාගෙ පවුලේ එකම දරුවා. අම්මා හරි ලස්සනයි. දිග කොණ්ඩයක් තිබුණා. අම්මා උසස් පවුලක වුණත්, ඉංගී්‍රසි කතා කළත් සිංහලෙන් හිතලා සාමාන්‍ය ගැහැනියක් විදියට ජීවත් වුණා. මගේ අම්මා පොළොවේ පය ගහලා ජීවත් වුණු ගැහැනියක්.
ඉහළ සමාජ පැලැන්තියක් නියෝජනය කළ කෙනෙක් විදියට ඇය සාමාන්‍ය සමාජයට ගැළපුණේ කොහොමද?
අම්මලාගේ කාලේ පුදුම විදියට කුල භේද හෙව්වා. ඒත් අම්මා එහෙම නැහැ. අම්මා හරියට දේවල් ඉවසුවා. එයා හැමදාම හිටියේ සාමාන්‍ය මිනිස්සු එක්ක. අම්මා සාමාන්‍ය ගැහැනියක් විදියට සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඒ කාලේ තාප්ප, ගේට්ටු නැහැ. තිබුණේ වැටවල් විතරයි. හවසට අපි සෙල්ලම් කරන්න ගියාම අම්මත් එනවා වැට ළඟට. ඒ වෙලාවට අම්මා ළඟ පාත ගෙවල්වල ඉන්න අයත් එක්ක කතාබහ කරනවා.
ගැහැනියක් විදියට අම්මා පවුල කියන සංස්ථාව රැක ගත්තේ කොහොමද?
මගේ තාත්තා සහ අම්මා කියන්නේ එකිනෙකාට නොගැළපෙන චරිත දෙකක්. තාත්තා අම්මාට වඩා වයසින් වැඩි සාමාන්‍ය කෙනෙක්. පවුල් රාමුව ඇතුළේ අම්මට තාත්තාව ගැළපුණේ නැහැ. අනෙක තාත්තා කියන්නේ කලාකාරයෙක්. කලාකරුවෙක් සමඟ විවාහ වීම නුහුරු වුණත් ඒ දේවල් අම්මා සෑහෙන්න ඉවසුවා. අම්මා හැමදාම තාත්තාගේ ෂර්ට් එක මැදලා කලිසම මැදලා ඇඳෙන් තියනවා. සපත්තු, මේස් ලෑස්ති කරලා තියනවා. කවදාවත් ප්‍රශ්න ඇති වුණත්, රණ්ඩුවක් වුණත් චාරිත්‍රයක් වගේ අම්මා ඒ ටික හැමදාම කළා.
ඔබ සහ අම්මා අතර තිබුණු සම්බන්ධය මොන වගේද?
ඉස්සර අක්කයි, මමයි ඉස්කෝලෙ ගිහින් ඇවිත් අම්මාගේ කාමරයට දුවගෙන ගිහින් පැය භාගයක් විතර කියවනවා. ඉස්කෝලෙ වෙන දේවලුයි, සේරම විස්තර කියනවා. අම්මා අපිට හැමදේටම වෙලාව වෙන්කරල දීලා තිබුණා. පාඩම් කරන්න, සෙල්ලම් කරන්න වගේ හැමදේටම. හවසට එයා ඇඟ සෝදලා ඔසරිය ඇඳලා පවුඩර් ගාලා ලස්සනට ඉන්නවා. ඔය ටිකම අපිත් කළා. අම්මා එක්ක තිබුණු සම්බන්ධය නිසාම අම්මා කරන හැමදේම අපිත් කළා.
අම්මා තුළ තිබුණු සමාජ සබඳතාවල ස්වරූපය මොන වගේද?
මගේ අම්මා සමාජයත් එක්ක හරිම එකමුතුයි. හරිම ළෙන්ගතුයි. මගේ තාත්තාගේ පවුලේ සහෝදර සහෝදරියෝ දහයක් හිටියා. අම්මා ඒ සේරම එක්ක හොඳින් හිටියා. අම්මාබැඳලා යද්දී ඒ සමහර අය හුඟක් පුංචියි කියලා අම්මා ඉස්සර කියනවා. අම්මා ඒ හැම කෙනෙක්ම බලාගෙන තියෙන්නේ තමන්ගෙම දරුවෝ වගේ. අදටත් එයාලා කියනවා "පුෂ්පා අක්කා නැති වුණ එක පාඩුවක්. අපිට අපේ දේවල් කියන්නවත් කෙනෙක් නැති වුණා කියලා.
ඔබ සහ අක්කාගෙන් අම්මා වැඩිපුරම සමීප වුණේ කාටද?
අම්මා දෙන්නටම එකවගේ ආදරය කළා. එයා අවුරුදු 40 වෙද්දී දේපළ සියල්ල අපිට සමව බෙදලා, ෆයිල් කරලා අල්මාරියෙන් තිබ්බා. අපිට උසාවි ගාණේ නඩු කිය කිය යන තැනට පත් කළේ නැහැ. රසට ඉව්වා. උයලා, බත් බෙදලා අපි දෙන්නා ළං කරගෙන බත් බෝල හදලා කවනවා. අම්මා වරද වරද විදියටම දැක්කා. මට අක්කට කියලා කිසිම වෙනසක් තිබ්බේ නැහැ.
අම්මා තුළින් ඉගෙන ගත් ජීවිත පාඩම් මොනවද?
මගේ ජීවිතේටම මහ විශාල පාඩම් ගොඩක් කියලා දුන්නේ මගේ අම්මා. එයා හුඟක් ලස්සනයි. ඒ ලස්සන එයා පරෙස්සම් කර ගත්තා. අම්මා හරිම පිරිසුදු ගැහැනියක්. එයා මොනතරම් ලස්සන වුණත් චරිතය කැතවෙන කිසිම දෙයක් කළේ නැහැ. කිසි කෙනකුට ණය වුණේ නැහැ.
අම්මාගෙන් ඔබට ලැබුණු දායාද මොනවද?
මගේ අම්මා හරිම ක්‍රමානුකූලව පිළිවෙළට වැඩ කටයුතු කළ කෙනෙක්. පුදුම විදියට මිනිසුන්ගේ දුක් ඇහුවා. හුඟක් අය මට කියනවා මම අම්මා වගේ කියලා. ඒ මාත් මිනිසුන්ට සමීප නිසා. ඒ පුරුදු ලැබුණේ අම්මාගෙන්. අම්මා ඉස්සර අපි වට කරගෙන අවුරුදු චාරිත්‍ර කරනවා. අදටත් අපි චාරිත්‍ර කරන්නේ අම්මා නිසා. එයා තමයි හොඳ සිරිත් අපිට කියලා දුන්නේ.
අම්මා නැති අඩුව අද දවසේ විඳගන්නේ කොහොමද?
මගේ අම්මට හොඳ සවන්දීමේ හැකියාවක් තිබුණා. එයා හරියට අනෙක් අයට ඇහුම්කන් දුන්නා. මට විතරක් නෙවෙයි අම්මා නැති අඩුව අපේ පවුලේ හැමෝටම දැනෙනවා. අපිට ප්‍රශ්න ඇති වුණු වෙලාවට අම්මා ඒ ප්‍රශ්න විසඳලා දුන්නා. අද අපිට තනියම ජීවිතේට මුහුණ දෙන්න සිදු වෙලා.
ගැහැනියක් ලෙස ඇය තුළින් දුටු දුර්වලතා මොනවාද?
අම්මා අපිට අසීමිතව ආදරය කළා. ඒ නිසාම ඇයට අපිව දාලා යන්න බැරිකමක් තිබුණා. අම්මා මිය යද්දී ඇයට අවුරුදු 57ක් වයසයි. අම්මා ශාරන්‍යාව දැක්කේ යන්තමට. හැබැයි හුඟක් හීන තිබුණා. ඒ මොහොතේ දේවල් දැකලා සතුටු වුණේ නෑ. තවදුරටත් දේවල් දකින්න බලාපොරොත්තු වුණා. ඇය එදිනෙදා ජීවිතය වින්දේ නෑ.

 

No comments:

Post a Comment

Post Bottom Ad