Anstronomy From Earth - GOSSIP9.WORLD

Post Top Ad

Anstronomy From Earth

Share This
ජීවිතේ කවදාවත් කරන්න බැරි වෙයි කියලා අපි හිතපු සමහර දේවල් නුදුරු අනාගතයේදීම ඇත්තක් කරන්න ලෝකයේ විවිධ රටවල ඉන්න විද්‍යාඥයන් උත්සාහ කරමින් ඉන්නවා.
සමහර දේවල් අපි හිතනවාටත් වඩා ඉක්මනින් අපි ළඟට ඇවිත්. ඒ තරමටම දවසින් දවස විද්‍යාව හා තාක්ෂණය ශීඝ්‍ර දියුණුවකට පත්වෙලා තියෙනවා.
අන්න ඒ වගේ අපි කවුරුත් පොඩි කාලේ ඉඳන් හීන මැව්ව දෙයක් තමයි අපි මේ ඉන්න ලෝකයෙන් එළියට ගිහින් මොන වගේද කියලා බලන්න. ඒ කියන්නේ අභ්‍යවකාශ ගත වෙන්න ලොකු කුඩා කවුරුත් කැමැති දෙයක්.
ලෝකයේ හරිම අතළොස්සකට පමණයි මේ වෙනකන් ඒ සිහිනය සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ඒ අභ්‍යවකාශගාමීන්ට. චීනය විසින් අභ්‍යවකාශයට පහසුවෙන්ම ගිහින් අපේ මේ පෘථිවිය බලන්න පුළුවන් රොකට් එකත් නිර්මාණය කරලා තියෙනවා.
ඒ කියන්නේ අපි වෙන රටකට යන්න ගුවන් යානය පාවිච්චි කරනවා වගේ පහසුවෙන්ම අභ්‍යවකාශයට ගිහින් එන්න පුළුවන් විදියට තමයි මේ අභ්‍යවකාශ යානය නිර්මාණය කරලා තියෙන්නේ.
චීනය විසින් මේ විදියට නිර්මාණය කරලා තියෙන යානය තුළින් ඕනෑම කෙනෙක්ට අභ්‍යවකාශයට ගිහින් අපේ පෘථිවිය දිහා බලන්නත් ගුරුත්වාකර්ෂණය නැති ඒ කියන්නේ ඔයාලගේ ශරීරයේ තියෙන බර සියල්ලම නැතිකරලා ඒ අත්දැකීම විඳින්නත් පුළුවන්. විද්‍යාඥයන් නම් කියන්නේ ලෝකයේ මිනිසුන්ට මේක ගොඩක් විනෝදකාමී සහ ත්‍රාසජනක ගමනක් වෙන්න පුළුවන් කියලයි.
මේ අභ්‍යවකාශ යානය හදලා තියෙන්නේ කැප්සියුල් එකක හැඩයටයි. එක් ගමනකට මගීන් පස් දෙනෙක් පමණ අභ්‍යවකාශයට අරන් යන්න හැකියාව මේ යානයට තියෙනවා. ටොන් 10ක් පමණ බර මේ යානයට විනාඩි දෙකක් ඇතුළත සැතපුම් 100ක් පමණ ඉහළට ගුරුත්වාකර්ෂණය නොමැති සීමාව දක්වා මගීන් රැගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා කියලයි විද්‍යාඥයන් නම් කියන්නේ.
එක ගමනට 5 දෙනෙක් බැගින් දවසට මගීන් 20කට මේ ත්‍රාසජනක විනෝදකාමී අත්දැකීම ලබා දෙන්න චීනය බලාපොරොත්තු වෙනවා. තව අවුරුදු දෙකක් ඇතුළත මේ යානයෙන් මගීන්ට අභ්‍යවකාශ ගත වෙන්න පුළුවන් කියලයි පර්යේෂකවරුන් කියන්නේ.
ඒ වගේම තමයි මේ යානයේ පෙර පුහුණු පරීක්‍ෂණය සාර්ථකව අභ්‍යවකාශයට ගොස් නැවත පෘථිවියට පැමිණ තිබෙන නිසා විද්‍යාඥයන්ට මේ නව අභ්‍යවකාශ ගුවන් යානය පිළිබඳ ලොකු විශ්වාසයක් මෙන්ම අනෙක් රටවල ආකර්ෂණය ද දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ නිර්මාණය ලෝකයේ නව පිටුවක් පෙරළනු ඇති බවයි විවිධ විචාරකයන් පවසන්නේ. මේ හරහා අභ්‍යවකාශය සංචාරක කේන්ද්‍රස්ථානයක් වීම නිසැක බව ඔවුන්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad