මෝටර් බයිසිකල් චිත්‍රපටයට වචනයක් - GOSSIP9.WORLD

Post Top Ad

මෝටර් බයිසිකල් චිත්‍රපටයට වචනයක්

Share This
ජාතක කතායි, වංස කතායි, පුරාවෘත්තයි බල බල ඉඳල ගියා බලන්න ලදරං තැපැල් නයින්ටියක ෆොටෝ එකක් ගහපු පෝස්ටරයක් දැකලා ඒක බලන්න ෆිල්ම් හෝල් එකට. ඒකේ නම 'මෝටර් බයිසිකල්'
සිනමාකරුවන්ගේ කැමරා හැමදාම එල්ල වුණේ පොළවට උඩින්. ඉඳලා හිටලා තමයි කැමරාවෙන් පොළව පෙන්නුවේ. හෙන බය ගුල්ලෝ. හඳගමලා, ප්‍රසන්නලා වගේ කිහිප දෙනෙක් ඇරුණාම ගොඩක් සිනමාකරුවෝ එහෙමයි.
රංගනගේ පළමුවැනි ස්ටෙප් එකම ඒ බියගුලුකමට අභියෝග කරපු එක ගැන රසිකයෙක් විදියට මට නම් සැටිස්, වේදිකා නාට්‍ය වගේම සිනමාවත් විකල්ප සොයමින් ඉන්න වෙලාවක 'මෝටර් බයිසිකල්' ඒ රාමුව අස්සේ කරණම් ගහනවා.
මේ ගතවෙන්නෙ සමාජ වටපිටාවම ලාභයට මුදලට කේවල් වෙමින් තියෙන වෙලාවක. තියෙන්නේ අමුම අමු නරුම තරගයක්. කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ අරුමෝසම් හීන කන්දක්. ඒවා ඇඩ් දදා පෙන්වලා මොළ හෝදලා. අපේ උන් ඒවා හඹා යන්නේ තාරුණ්‍යය පවා බල්ලට දාලා. ටැමිල් ෆිල්ම් කොපි එකක් වෙච්ච 'ප්‍රවේගය' තුළත් මේවගේ කතාවක් තිබුණා. ඒත් ඒක නියෝජනය කෙළේ චණ්ඩින්ගෙ කතාවයි. කෙහොමත් අපේ රටේ වැල් කතා, මල් කතාවලට පෝලිම දිගයි. මහ සෙනඟ නැතිවට මේ කතාවේ පසු බිමට ගන්න මුඩුක්කු පරිසරයයි කෙල්ලගේ කොල්ලගේ සමාජ කණ්ඩායම් දෙකයි හින්දා ලොකු බරක් තියෙනවා. 'ඇඩ්‍රස් නෑ' එකෙත් මේ වගේ කතාවක් තිබුණා. ඒකට වඩා මේක කියවන්න අපිට ඉඩ දෙනවා.
අද අම්මලා පවා වැඩියෙන් ආදරේ සල්ලි ගොඩ ගහගෙන, සමාජ තත්ත්වයන්වලින් ඉදිමිච්ච පුතාලටනේ. උන්ට මනුස්සකම් අදාළම නෑ. කොහොමත් දැන් තියෙන සමාජෙට මනුස්සකම් වහ වගේ. ඒක අම්මලගේ වත් දරුවන්ගේ වත් වරදක් නෙවෙයි. ඉතින් මුඩුක්කුවේ ඉන්න කොල්ලගේ අම්මත් ට්‍රයි කරන්නේ පුතාගේ දක්ෂතාවට පෝර දාන එක නෙවෙයි. උෟට ජොබ් එකක් අරන්දීලා ඒකෙ පඩියෙන් මොඩිෆයි වෙච්ච ස්මාට් කොල්ලෙක් කරන්න. හතර වටින්ම පේන්නේ බයික්. කන්න ගෙනා කෑම එක ඔතල තියෙන කඩදාසියෙත් කොල්ල දකින්නේ බයික්. හේතුව ස්මාට් පොරක් වෙන්න නම් මුලින්ම ගන්න ඕන බයික් එකක් කියලා හීනෙ හදලා අවසන්. මේ කොල්ලත් ඒකෙ ගොදුරක්.
සංගීතෙ දන්නැති එවුන්ට ඒක කරච්චලයක්. එක තැනක කොල්ලෝ ටික එකතුවෙලා ඩීසන් විදියට සින්දුවක් ප්ලේ කරනකොට අසල්වැසියෙක් සද්දයක් දාන එක කතාවට ගළපලා තිබුණා. කලාවට හෙනහුරා පාත් වුණේ අද ඊයේ නෙවෙයි. පුදුමෙ කියන්නෙ සංගීතෙ කරච්චලයක් කියලා සද්දේ දාන අය තව බොහෝමයක් අමිහිරි සද්ද ඉවසන එකයි. ඒක පැත්තකින් තියමුකෝ. ක්ලබ්වල සින්දු අහන්නේ සමහර වෙලාවට අන්ත කුජීත ඩයල්. අර ක්ලබ් එකක කොල්ලො ටික සින්දුවක් කියන වෙලේ පෙරළන බාල්දිය එහෙම එකක්. කොහොමත් වින්දනය නිර්වින්දනය කරලා තියෙන සමාජයක, කලාවට වැලේවැල් නැති වුණත් පුදුම වෙන්න දෙයක් නෑ.
තාරුණ්‍යයේ හීන හොඳට හඳුනන, ඒ ගැන ඉඩ තියෙන සාප්පු වගේම කළු කඩත් ඕන තරම් තියෙනවා. හරියට නීති විරෝධී මත්ද්‍රව්‍ය හා නීත්‍යනුකූල මත්ද්‍රව්‍ය වගේ. ගරාජ් එකේ හොරෙන් උස්සපු තැපැල් නයින්ටියක් අම්මගේ මාලේ උකස් කරලා ගන්නේ චිකන් කන්න බැරිනම් චිකන් රහට පරිප්පු හරි කන්න අපි කැමැති බව පෙන්නන්න වගේ. කොල්ලා ඒ හීනෙට පණ දෙන්නේ තැපැල් නයින්ටියකින්.
බර හඩින් කතාව ඇතුළේ ඇහෙන 'අම්මගේ මාලේ උකස් කඩේ. පද පේළිය, සන්තකය අහිමි කරගනිමින් හිමි කර ගන්නා කෘතිම හීනවල අත් පත් කරගැනීමේ අඩමානය කියනවා කියලයි මට හිතෙන්නේ. අම්මට මාලේ නැතිවෙලා කොල්ලට බයික් එක එනවා. කොල්ලට බයික් එක එනකොට කෙල්ල අත හැරෙනවා. බැලන්ස් කරගන්න බැරි ජීවිතයක් අපට තියෙන්නේ. ජීවිතේ ජීවත් කරවන්න ආදරේ ඕන. ආදරේ ජීවත් කරවන්න ජීවිතේ කැප කරන්න වෙලා. ඒ අතරෙ කොල්ලයි කෙල්ලයි තනි වෙන්න තැනක් හොය හොයා ඇවිදින ඇවිදිල්ල, නවතින තැන්වලින් ලැබෙන සමච්චල් ප්‍රතිචාර, ආදරයට ඉඩ ඇහිරිච්ච මේ පොළොවේ නරුමකම දෝ කියාපානවා.
ඒ වගේම පාතාලේ කියන අපේ සමහර නිෂ්පාදනය, ඒ මිනිස් කල්ලිය ඉඳහිට රංගන අපිට පෙන්වන්නේ ඒ වගේ කුඩු කාරයෝ සමාජෙ මැද්දට කඩා පැනලා අපේ හීන අවුල් කරනවා කියන එකට වඩා එක පැත්තක් උන් අතින් බැලන්ස් වෙන්න තරම් මේ සමාජය නරුම වෙලා කියන බව පෙන්නන්න වගේ.
අවසන් වෙඩිල්ල කතාවට තිත තිබ්බට, අපිට ජීවිතය ගැන තිත් පේළියක් ඉතුරු කරනවා. පැය දෙකක් වගේ අවකාශයක මෝටර් බයිසිකල් කතාව කියන්න ගන්න හදිස්සිය නිසා පොඩ්ඩක් මොළේ කර ගැට එනවා. ඒත් කමක් නෑ රංග, අපේ සිනමාව ඇතුළෙ උඹට සුබ ගමන්.!

No comments:

Post a Comment

Post Bottom Ad