මම දැන් සුන්දර යක්ෂණියක්... - GOSSIP9.WORLD

Post Top Ad

මම දැන් සුන්දර යක්ෂණියක්...

Share This
පසුගිය දවස්වල හුඟක් අය කියන්න ගත්තා රන්ජන් ගෑනියෙක් වෙලා කියලා. මේ කතාවේ තේරුම මොකද්ද?
ඔව්. ඒ ඉතින් මේ මායා චිත්‍රපටය නිසා. ඒ චිත්‍රපටයේ මම අර්ධ කාන්තා චරිතයක් රඟපානවා. ඒ නිසා ඇත්තටම රැජිනි කාන්ත්, ශාරුක් ඛාන්, සරත් කුමාර එතකොට හොලිවුඩ්වලට ගියාම, රොබින් විලියම්ස්ලා පවා ගැහැනු චරිත කරලා තියෙනවා. මට විතරක් ඇයි දන්නේ නැහැ ඉතින් සමහර අය එහෙම කියනවා.
රන්ජන් මායා වෙනුවෙන් සෑහෙන්න කැපවුණා කියන්නේ ඇත්තද?
ඔව්. ඇත්තටම මායා කියන්නේ මගේ ජීවිතේ ලොකු අභියෝගයක්. මම හැමදාම ෂූටින් ගියේ එකොළහ පහුවෙලා. පැය අටක් නිදාගෙන ජිම් ගිහිල්ලා ට්‍රේනින් වුණා. ව්‍යායාම කරලා ඇඟ පුම්බගෙන තමයි රඟපාන්න ආවේ. මායා කියන්නේ මට මහ ලොකු අවදානමක් ගෙනාපු චරිතයක්.
ඒ අවදානමට මුහුණ දෙන්න මුලින් මුලින් බය වුණා නේද?
ඔන්න දවසක් ඩොනල්ඩ් ජයන්ත, සදේශ් කුමාර්, ආශෝක ආරියරත්න, පුබුදු චතුරංග පිටපත අරන් අපේ ගෙදර ආවා. ඇවිත් පිටපත මට දුන්නා. මම කියවපු ගමන්ම මට හිතුණා මේ චරිතය රඟපෑවොත් අනිවාර්යයෙන්ම මට මඩ ගහයි කියලා.
හිතුව තරම් මේ චරිතය ලේසි වුණාද?
නැහැ. ඇත්තටම මේ චරිතය හුඟක් අමාරු චරිතයක්. අද චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නම් එහි ස්තුතිය මේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදක දෙපළට ලැබෙන්න ඕනෑ. මොකද සමහර වෙලාවට ෆයිට්වලදී මුල්ම කොටස් එකක් දෙකක් කරන්න පුළුවන්. ටික වේලාවක් යද්දී මටම අමතක වෙලා වන්ෂොට් මතු වෙනවා. මම අතින් පයින් ගහගන්න පටන් ගත්තු ගමන් 'යූ ආ ලේඩි, යු ආ ලේඩි' කියලා ඩොනල්ඩ් ජයන්ත කෑගහනවා. ඔන්න එතකොට තමයි චරිතය කරන්න ඕන විදිය මට ආපහු මතක් වෙන්නේ.
ගීතා කුමාරසිංහ ප්‍රවීණ රංගන ශිල්පිනිය කියලා තිබුණා තමන් ගැහැනියක් වෙලත් පිරිමියෙක් වගේ වැඩ කරද්දි රන්ජන් ගැහැනියක් වෙලා කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
මෙහෙමයි. දැන් විජය කුමාරණතුංග මහත්මයා, ජේසුට රඟපෑවා කියලා එතුමා ජේසුස් වහන්සේ වෙන්නෙ නෑනේ. මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සුද්ධෝදන රජතුමාට රඟපෑවා කියලා මම එයා වගේ වෙන්නෙ නෑනේ. ඉතින් මම ගැහැනු චරිතයක් කළා කියලා කවදාවත් ගෑනියෙක් වෙන්නේ නැහැ. එතුමිය ඉන්නේ වැරැදි අවබෝධයක. චිත්‍රපටය බැලුවා නම් ඔහොම කියන්නේ නැහැ.
මේ චරිතය භාර ගත්තේ කොන්දේසි ගොඩක් දමමින් කියලා පසුගියදාක අධ්‍යක්ෂවරයා කියලා තිබුණා. ඒ කතාව ඇත්තද?
ඔව්... ඔව්... මම වසර 10ක් පුරාවට ලංකාවේ ජනප්‍රියම නළුවා. මේ චරිතය නොකළා කියලා මට ලොකු හානියක් වෙන්නේ නැහැ. මේ චරිතය භාරගෙන යම් අර්බුදයක් ආවා නම් අර ගොඩනඟා ගත් සියලුම දේ බිඳ වැටෙනවා. මේ චරිතය මට ලොකු අභියෝගයක්. ඉතින් කොන්දේසි නොදා බෑනේ.
මොනවද ඒ කොන්දේසි?
මම ෂූටින් ගියේ එකොළහ පහුවෙලා. සමහර විට 12 පහුවෙලත් ගියා. මේකේ ෆයිට් සේරම ඉන්දියාවේ කරමු කියලා මම කිව්වා. සටන් අධ්‍යක්ෂවරු ඉන්දියාවේ අය. ඒකත් මගේ ඉල්ලීමක්. ග්‍රැෆික් සේරම ඉන්දියාවේදී කළේ මගේ ඉල්ලීම නිසා. මම තමයි කිව්වේ මේක්අප් ආර්ටිස්ට් පවා මට ඉන්දියාවෙන් ඕනෑ කියලා. නමුත් ඩොනල්ඩ් මට කලින් ප්‍රේමතිලකව හඳුන්වා දුන්නා. එයා අපේ ගෙදර ඇවිත් මේක්අප් එකක් කළාම තමයි මම සැටිස් වුණේ.
මායා චරිතය සඳහා ලැබුණු හොඳම ප්‍රතිචාරය මොකද්ද? එය ලැබුණේ කාගෙන්ද?
මම හිතන්නේ මගේ චරිතයට ලැබුණු හොඳම ප්‍රතිචාරය තමයි රාවය පත්තරේ උඩුවාගේ සටහන ලියන තරිඳු උඩුවර ගෙදරගේ විචාරය. 'මායා' බලලා රන්ජන්ට විසිල් ගහන්න යං' කියන විචාරයට මම හරි ආසයි.
ජනතා ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
සතුටුයි. පානදුරේ හෝල් එකකදී මගේ කටවුට් එකකට මල් දාලා, කිරිවලින් නාවලා තිබුණා. හරියට ඉන්දියාවේ අය රැජිනි කාන්ත්ට කරනවා වගේ. තවත් කට්ටියක් සැලුන් ගිහින් මේක්අප් කරගෙන මායා වගේ ඇඳගෙන හිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනකුගෙන්ම හොඳ ප්‍රතිචාර තියෙනවා.
හුඟක් අය කියන්නේ රන්ජන් මෙච්චර කාලයක් රඟපෑ කාඩ්බෝඩ් වීරයාගේ චරිතවලට වඩා මේ චරිතය සංකීර්ණයි කියලා. ඒක ඇත්තද?
මෙහෙමයි. යකඩ පිහාටු හි රොමේෂ්ගේ චරිතය, නිලම්බරේ හි නිර්වාන්, අවරගිර වැනි චිත්‍රපටවල මම විශිෂ්ට ගණයේ චරිත කළා. වන්ෂොට්, ලීඩර්, රංජා වැනි චිත්‍රපටවල රඟපෑවා. නමුත් මේක මට ලැබුණු සංකීර්ණම චරිතයක්. මීට කලින් භූත චරිතයක් කරලම නැහැ. මේ සුන්දර යකින්නක්. මේ යකින්න යටත් වෙන්නේ සිවුරට සහ බෞද්ධ භික්ෂුවට පමණයි. එතැනින් සමාජ පණිවුඩයක් පවා ලැබෙනවා.
මේ කතාව හුදු භූත කතාවක් හෝ විහිළුවක් විතරක්ම නෙවෙයි නේද?
ඔව්. ඇත්තටම මේ සමාජයේ ඉන්න අකුරු හතරකින් හඳුන්වන ගැහැනුත් නොවන පිරිමින් නොවන පීඩිත පන්තියක් පිළිබඳව මේ චරිතයෙන් කතා වෙනවා. ඒ අයට පාසලකට යන්න බැහැ. ඡන්දෙ දාන තැනදී පවා 'අහනවා යන්නේ මොන පෝලිමටද' කියලා. ඒක ඒ අයගේ වරදක් නෙවෙයි. පිරිමි කෙනෙක් ලෙස ඉපදුණත් ඉන්නේ කාන්තාවක් වගේ. සමාජය ඒ අයව පීඩාවට පත් කරනවා. ඉතින් මේ චිත්‍රපටයේ ඒ පීඩිත පන්තිය වෙනුවෙන් මම කතා කළා.
තවමත් සිනමාවේ සුපිරි වීරයා රන්ජන් රාමනායක. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක එහෙම නම් මම ඒ ගැන සතුටු වෙනවා මිසක ඔළුව ඉදිමුවා ගන්නේ නැහැ. මොකද මම මෙතැනට එන්න ලොකු කැපවීමක් කළා. ඉස්සර මට චරිත දෙන්න කියලා අධ්‍යක්ෂවරු පස්සේ ගියා. ගෙවල් ඉස්සරහා වරු ගණන් බලාගෙන හිටියා. මුලින්ම මට දුන්නේ විජයගේ පස්සෙන් ජය වේවා කිය කියා යන කෑල්ලක්. අදටත් ඒ චරිතේ මම දැකලා නෑ. සෙනඟ ගොඩේ මාව පේන්නේ නෑ. එහෙම ආ ගමනක් මේක.
මායා චරිතයට වගේම ප්‍රතිචාර ලැබුණු වෙනත් චරිතයක් තිබෙනවද?
ඔව්. ඇයි තවම මම වන්ෂොට් නේ. පාර්ලිමන්ට් ජෝක් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි මායාට නම් මම බයවෙලා හිටියේ. මට මිතුරෝ වගේම සතුරොත් ඉන්නවා. සතුරෝ මට කොහොම ගහයිද දන්නේ නෑනේ. මම පහුගිය දවස්වල පුදුම ආතතියකින් හිටියේ. දැන් නම් ප්‍රතිචාරත් එක්ක මගේ ආතතිය සමනය වෙලා.
රූගත කරන කාලේ සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම තියෙනවද?
පානදුරේ ෂූටින් කරද්දී ඇවිදින මංතීරු තියෙනවානේ. උදේට කට්ටිය එනවා දුවන්න. මමත් ඉතින් යකින්නට ඇඳලා මේක්අප් දාලා ඉන්නේ. අපිට හරි බෝරින්... නිදිමරලා කම්මැළිකමෙන්නෙ ඉන්නේ. මම වැටකෙයියා පඳුරු අස්සෙන් පැනලා අර මිනිස්සු පස්සෙන් දුවනවා. නිකං නෙවෙයි 'තොපේ රීරිමාංසේ මට දියව්' කිය කියා. අන්තිමට අපේ කට්ටිය හාර්ට් ඇටෑක්කාරයෝ ඉන්නවා කියලා මාව නැවැත්තුවා. ඒ මිනිස්සු දුවන්නේ, උසේන් බෝල්ට් වගේ. උසේන් බෝල්ට් පරාදයි.
වියදමට සරිලන ආදායම් වාර්තා පිහිටුවන්න චිත්‍රපටය සමත් වුණාද?
ඔව්. මුල්ම දවසේ ගණන් අහනකල් මම බයෙන් හිටියේ. කොපි 47කට අපිට ඉහළම ආදායමක් වාර්තා කරන්න පුළුවන් වුණා. අපි දින 150ක් වගේ ෂූටින් කරලා තමයි මේ චිත්‍රපටය කළේ. සාර්ථකයි කියලා හිතනවා. චිත්‍රපටය කළේ ලොකු වියදමක් දරලා. මගේ සටන් ජවනිකාවලට විතරක් ලක්ෂ අසූවක් වියදම් වුණා.
ඔබ හැරුණු විට මායා චරිතය සඳහා සුදුසුම රංගන ශිල්පියා කවුද?
ඒ ගැන නම් මට මොනවත් කියන්න බැහැ. ඩොනල්ඩ් මුලින්ම මාව චරිතයට යෝජනා කරපු වෙලාවේ මම බෑ කිව්වම එයාලා කිව්වේ එහෙනම් අපි චිත්‍රපටය කරන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ එයාලා හිතන විදියට මේ චරිතයට සුදුසුම කෙනා මම වෙන්න ඇති.
වයස අවුරුදු පනහත් ඉක්මවා සිටින කාර්යබහුල රංගන ශිල්පියෙක් සහ දේශපාලනඥයෙක් විදියට තරුණ බව රැකගෙන ඉන්නේ කොහොමද?
මට ආතතියක් නෑනේ. මම තනිකඩයෙක්. ගොඩක් වතුර බොනවා. මත්පැන් සහ දුම් පානයෙන් තොරයි. ව්‍යායාම කරනවා. දවසට පැයක් වගේ දුවනවා. සතුටින් ඉන්නවා. මට ළමයි ඉස්කෝලේ යවන වැඩ, ගුරුදින, මවුපිය දින, වයිෆ්ට මේක්අප් බඩු ගේන්න වගේ සියයට අනූවක් ප්‍රශ්න මට නෑනේ. දේශපාලනයට නොගියා නම් තවත් නිරෝගීව ඉන්න තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad