හිරුණිකාට ඇප - GOSSIP9.WORLD

Post Top Ad

හිරුණිකාට ඇප

Share This
දෙමටගොඩ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන යෑම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධි චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා පවරා තිබූ නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනකු ඇප මත මුදා හරින ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සියලුම විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින්ද ඊයේ (21දා) නියෝගයක් නිකුත් කළාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 09 දෙනා එක් විත්තිකරුවකු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරිය, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළාය.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට යම් තර්ජනයක් හෝ බලපෑමක් කළ බවට පැමිණිල්ලක් ලද හොත් වහාම ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන බවද විනිසුරුවරිය විත්තිකරුවන්ට අවධාරණය කළාය.


2015 දෙසැම්බර් 21 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කොළොන්නාවේදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා පැහැරගෙන යෑම, ඊට ආධාර අනුබල දීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
මේ නඩුවේ විත්තිකරුවන් ලෙස පැලවත්ත විතානගේ නිරංජන්, හසිත් මලින්ත ජයතිලක, රූපසිංහ ආරච්චිගේ කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, මයිකල් ඇන්තනී, පසිඳු සංජීව අබේවර්ධන, නසීන් මොහොමඩ් රිස්වාන්, ඇන්තනී ජෝෂප්, හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර යන 9 දෙනා නම් කර තිබිණි. විත්තිකරුවෝ සියලු දෙනා අධිකරණ නියෝග පරිදි ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මේ නඩුව සඳහා නඩු භාණ්ඩ 5ක්ද, සාක්ෂිකරුවන් 33ක්ද, නීතිපතිවරයා ඇතුළත් කර තිබිණි.
අදාළ නඩුව 2017 ජනවාරි 10 සහ 11 යන දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කෙළේය.

No comments:

Post a Comment

Post Bottom Ad