ජීවන් රන්ජන් එක්ක එකට රඟපාන්නේ නැත්තේ ඇයි..? - GOSSIP9.WORLD

Post Top Ad

ජීවන් රන්ජන් එක්ක එකට රඟපාන්නේ නැත්තේ ඇයි..?

Share This
ඉතින් ජීවන් මේ දවස්වල අලුත් වැඩකට අතගහලාලු නේද?
ඔව්. මගේ අත්දැකීම් ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. මේ ටිකේ ඒ වැඩවලට සූදානමක් තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය පරිදි ගෙදරට වෙලා ඉන්නවා.
ඒ කියන්නේ දේශපාලනයෙන් අයින්වෙලා ආපහු රංගනයට ආවා
දේශපාලන වැඩ හින්ද රංගන කටයුතුවල ලොකු වෙලාවක් තිබුණේ නෑ. පසුගිය මැතිවරණයට මං ඉදිරිපත් නොවුණු හින්දා දැන් වැඩිපුර රංගනය පැත්තට කාලය යොමු කළා.
ජීවන්ට ඇත්තටම රංගන මඟහැරුණා නේද?
ඔව්. දේශපාලනය එක් හේතුවක් වෙන්න ඇති. චිත්‍රපට අධ්‍යක්‍ෂවරු වුණත් ඔය තත්ත්වයෙන් මට කාර්යය බහුල වීම මත මට චරිත නොදුන්නා කියලයි හිතෙන්නේ. ඒක අතකට එක සාධාරණයි.
එහෙම රංගන ජීවිතයෙන් අෑත්වෙලා ඉඳලා රඟපාපු මුල්ම චිත්‍රපටයට ප්‍රතිචාර කොහොමද?
බුද්ධික ජයරත්න මට පුතණ්ඩියා චිත්‍රපටයට ආරාධනා කළා. මම ඔහුගේ මුල් චිත්‍රපටය "දේදුණු වැස්ස"ත් රඟපෑවා. පුතණ්ඩියා චිත්‍රපටයෙ මම "බුද්ධිකගේ" පියා හැටියට රඟපෑවා. චිත්‍රපටය නරඹපු අය කීවේ පරණ ජීවන්ව මතක් වුණා කියලායි.
"පරණ ජීවන්' රඟපාපු කාලයට වඩා අද තාක්‍ෂණය අතින් දියුණු වෙලානෙ නැවැත රඟපාන්න එනකොට ඒකත් ඔබට දැනේවි නේද?
ප්‍රේක්‍ෂකයාගේ විශ්වාසය ගොඩනැඟෙන්න කාලයක් යනවා. එදා අපි සිංහල සිනමාවේ වීරයෝ වුණේ ඒ විදියට. අපේකම රැකගෙන තාක්‍ෂණය එකතු කරගෙන හොඳ වාණිජ චිත්‍රපට ගොඩනඟන්න පුළුවන්. අපේ චිත්‍රපට රූපවාහිනි නාළිකාවල හා ඩී.වී.ඩී.වලින් නරඹන ප්‍රේක්‍ෂකයො තාමත් අපි ගැන කතා කරනවා.
ඔබ පවසන්නේ රිදී තිරයට වඩා ප්‍රේක්‍ෂකයාට චිත්‍රපට ළංකරන ඩී.වී.ඩී. මාධ්‍යය සාර්ථකයි කියලද?
මං කියන්නේ චිත්‍රපට නරඹන්න හෝල්වලට නොයෙන අයත් ඩී.වී.ඩී. චිත්‍රපට බලනවා. මං රඟපාපු "අජාසත්" චිත්‍රපටය තිරගත වෙන කාලයට වඩා ඩී.වී.ඩී. චිත්‍රපටයට නැඟුණු කාලයේදී ජනප්‍රිය වුණා.
ඒත් බහුතරයකගේ මතය ඔයිට වඩා වෙනස් නේද?
වෙන්න පුළුවන් කොහොම වුණත් හොඳ චිත්‍රපටයකට නම් ඔය කිසි බලපෑමක් නෑ.
වාණිජ චිත්‍රපට අතරට ක්‍රියාදාම චිත්‍රපට නැවැත පැමිණීමෙන් හොඳක් සිද්ධවුණාද?
අපි මේ වකවානුවේ ක්‍රියාදාම චිත්‍රපටයක් කරනවා නම් යම් ජාත්‍යන්තර ප්‍රමිතියකින් ඒක කරන්න ඕනෑ. එහෙම වුණොත් අපේ සිනමාව ඉදිරියට යන එක අනිවාර්යයි.
ජාත්‍යන්තරයට යනවා කියන්නේ කොපි සිනමාව කරන එකද?
ගොඩක් අයට පැටලුණෙත් ඔතැන. අපේ පරම්පරාවෙ අය පරණ චිත්‍රපටයක් ඒ විදියටම ගෙනාවේ නෑ. එයින් යම් යම් දේ අරගෙන අලුත් නිර්මාණයක් කළා. ඒ කොයිහැටි වෙතත් ඔය කොපි සිනමාව කින ප්‍රශ්නෙදි අපේ පරම්පරාවත් ඒ දේට වගකියන්න ඕනෑ. කොපි කියලා කාබන් කොපිය ගහන එක නම් වැරැදියි.
රන්ජන් - ජීවන් - විජය කුමාරතුංගගේ සිනමා පරම්රපාවේ අද ඉන්න ප්‍රවීණයෝ දෙන්නව එකට එකතු කරලා දැවැන්ත නිර්මාණයක් දකින්න ප්‍රේක්‍ෂකයෝ ආස ඇති?
ක්ලීටස් මෙන්ඩිස් මහත්මයා "පරපුර" චිත්‍රපටය හරහා ඒ වගේ උත්සාහයක් කළා. බොලිවුඩයෙ ප්‍රවීණ රංගන ශිල්පියො දෙන්නෙක් එකතු කර ගෙන වාණිජ චිත්‍රපට හදලා සාර්ථක කරගන්නත් අපේ අධ්‍යක්‍ෂවරු ඒ ගැන ලොකුවට හිතලා නෑ.
වාණිජ සිනමාවට නවකයන්ගේ ආගමනය ගැන තෘප්තිමත්ද?
තරුණ දක්‍ෂ රංගන ශිල්පියො ඉන්නවා. ඒත් ඒ ගොල්ලන්ට රඟපාන්න හොඳ චිත්‍රපට හැදෙන්න කාලයක් යනවා. මං නිතරම හිතන දෙයක් තමයි වීරයෝ බිහිවෙන්න කාලයක් යනවා.
එතකොට සටන් අධ්‍යක්‍ෂවරුන්ට වුණොත් ඒ සෙතේමද?
එදා අපි ඇගේ හයියටනෙ ගහගත්තෙ. නූතනයෙ ඊට වඩා වෙනස් තාක්‍ෂණික ප්‍රයෝග එක්කයි වැඩකරන්නෙ. කොලිවුඩ් සිනමාවෙ රැජිනි කාන්ත්ට වයස අවුරුදු හැට අටක් වුණත් කබාලි හරහා පෙන්වන ක්‍රියාදාම රංගනය බලන්න. ඒ අය රැජිනිගෙ ස්ටාර් වැලිව් එක අරගෙන හොඳ දෙයක් පිටට දෙනවා. අපේ සිනමාවෙ සටන් අධ්‍යක්‍ෂවරයාට ඔය නිදහස නෑනෙ. ඔහුට ෆයිට් කරන්න වෙලා තියෙන්නෙ බජට් එකයි ටයිම් එකයි එක්ක.
එදා ඔබ සිනමාවෙ සටන්වලින් මත්වුණු රසිකයො නොදන්න ත්‍රාසජනක සිදුවීමක් ඇති
එහෙම සිදුවීම නම් එමටයි. මට මතකයි මාත් මගේ බාප්පා විජය කුමාරතුංග මහත්මයත් "රන්දෙණිගල සිංහයා" චිත්‍රපටය රඟපාද්දි වෙච්චි සිද්ධියක්. අපි දෙන්නා අසු පන්නගෙන ගම්පතියගෙ ගෙදරට එතකොට අපි පිටුපස්සෙ ආව ජීප් එක උඩ කැමරාවක් බැඳලා එනවා. අපි වතුර වළක් උඩින් පන්නන්නයි තිබුණෙ. බාප්පා අස්සයව පැන්නුවා. මට තේරුණා මොකක් හරි අවුලක් කියලා. ඒ වෙලාවෙ ජීප් එක ඇවිත් මාවත් අස්සයත් යටකරගෙන ගියා. මගෙ කකුලක් තුවාල වුණා. කකුලෙ වේදනාවට වැඩිය මං බයේ හිටියෙ අශ්වයා ගැන. මොකද මං අශ්වයාව ලක්‍ෂ තුනක් පොලිසියට ඇප බැඳලයි ගෙනාවෙ ඒ දවස්වල ලක්‍ෂ තුනක් ලොකු ගාණක්නෙ.
කතාවෙන් කතාව ජීවන් තාමත් අපිට තාම කීවේ නෑනෙ හදන චිත්‍රපටය ගැන?
ඒ ගැන ඉස්සරහට මං කියන්නම්. මේක මගේ අත්දැකීම්වලින් ලියැවුණු ක්‍රියාදාම චිත්‍රපටයක්.
ඒ කියන්නේ ජීවන් ආපහු වීරයෙක් වෙනවා?
ඔව්. එහෙම කිව්වට වරදකුත් නෑ.

No comments:

Post a Comment

Post Bottom Ad