2016 අයවැයේ වැදගත්ම යෝජනා සම්පූර්ණයෙන් මෙහෙමයි - GOSSIP9.WORLD

Post Top Ad

2016 අයවැයේ වැදගත්ම යෝජනා සම්පූර්ණයෙන් මෙහෙමයි

Share This
2016 අයවැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක මිල අඩුකිරීමට යෝජනා කරන බවත්, ඒ අනුව කි.‍ග්‍රෑ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150න් පහල දමා ඇති අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10න් අඩුකිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


එමෙන්ම කඩල කිලෝවක් රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කරන බවත්, ළඳරු කිරිපිටි රුපියල් 100න් පහල දැමීමටද  මෙවර අයවැයෙන් යෝජනා කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

එසේම පරිප්පු කිලෝවක් රුපියල් 169ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 410ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත්  යෝජනා කළ බව ඔහු කියා සිටියේය.


තවද කට්ට කරවල කිලෝවක් රුපියල් 1100ක උපරිම සිල්ලර මිලක් යටතේද සාලයා කරවල කිලෝවක් රුපියල් 425ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටද  මෙවර අය‍වැ‍යෙන් යෝජනා කරන බවත්,   ලොකු ලූනු සහ අර්තාපල් සඳහා අයකරනු ලබන විශේෂ බද්ද රුපියල් 25න් පහල දැමීමටද මෙවර අයවැයෙන් යෝජනා කරන බව 2016 වර්ෂය සඳහා නව ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ඔහු අවධාරණය කළේය.


2016 අයවැය ශුන්‍ය අයවැය සංකල්පය මත පදනම් වන බවත්, ඒ ඒ රාජ්‍ය ආයතන වාර්ෂිකව තම ආදායම් වියදම් සමාලෝචනය කළ යුතුව ඇති බවද ඔහු කියා සිටියේය.


උද්ධමනය 2% ට අඩුකිරීමට හා ආර්ථික වර්ධන වේගය 6%ක සාමාන්‍ය අගයක පවත්වාගෙන යාමට හැකියාව
ලැබුණු බව මෙහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

රටක ජාතික ආරක්ෂාව උදෙසා නවීනතම ක්‍රමෝපායන් භාවිතා කළ යුතු බවත්, ජාතින ආරක්ෂාව කිසිසේත්ම අනතුරේ නොහෙළන බවත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.


පෞද්ගලික අංශයේ සේවකයින්ට නිර්මාණශීලි ලෙස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇති බවත්,  උපාධිධාරීන් හා ශ්‍රම වෙළඳපොළ අතර අසමතුලිතාව අවම කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.


පාසල් සිසුන්ගේ විභාග කේන්ද්‍රීය විෂය මාලාව වෙනුවට දක්ෂතා ඇගයීමට ලක්කෙරෙන විෂය මාලාවන් හඳුන්වාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇපකරුවන් නොමැතිව ණය ආධාර ලබාදීමට තෝරාගත් මූල්‍ය ආයතන හරහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට මිලයන 500 ක මූලික අරමුදලක් වෙන්කරන බව ඔහු කියා සිටියේය.


ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ඇති කරන බවත්, බීජ විවිධාංගීකරණයට , රෝපණ ද්‍රව්‍ය ඇති කිරීමට පුද්ගලික අංශයේ සමාගම් දිරි ගැන්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රු.මිලියන 1000 ක මුදලක් වෙන්කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කීරි සම්බා රු.50 ක්, සම්බා රු.41 , හා නාඩු සහල් සඳහා රු.38 ක් වන ලෙස සහතික කළ වී මිලක් නියම කරන බවත්, එමගින් රු.65 ක මුදලට පාරිභෝගිකයාට සහල් කිලෝවක් ලබාගත හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.

සුළු ගොවීන්ට පමණක් හෙක්ටයාර 1ක් සඳහා පමණක් පොහොර සහනාධාරය වෙනුවෙන් රු.25,000 ක මුදල් ප්‍රදානයක් සිදුකරන බවත්, එමගින් රසායනික පොහොර භාවිතය හෝ එසේ නොවන ඵලදායි ක්‍රියාමාර්ග සඳහා ඉඩකඩ වෙන්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 ඒ සඳහා රු.මිලියන 37,500 ක් වෙන් කිරීමට යෝජනා කරන බව ඔහු අවධාරණය කළේය.


ධීවර කර්මාන්තයේ යෙදෙන ජනයාට රු.මිලියනයක ජීවිත රක්ෂණයක් යෝජනා කරන බවත්, එයින් මුහුදේදි සිදුවන අනතුරු, අතුරුදහන්වීම් ආදියත් ආවරණය වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

හලාවත, මිරිස්ස, කල්මුනෙයි,වැල්වැටිතුරෙයි, කරෙයිනගර් යන ධීවර වරාය වල පහසුකම් සංවර්ධනය කරන බවත්, ඒ සඳහා රු. මිලියන 750 ක් වෙන්කිරීමට යෝජනා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සියලුම වැවිලි සමාගම් කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීමට සුදුසු මට්ටමට පැමිණ ඇතැයි තමන් කල්පනා කරන බැවින් වැවිලි සමාගම් කළමනාකරණයට තමන් යෝජනා කරන බවත්, තේ සහ රබර් කර්මාන්තවලට වසර දෙකක බදු නිදහස් කිරීමට කටයුතු කරන බවත්,තේ රබර්, පොල් පර්යේෂණ ආයතනයන්ට අදාළ පර්යේෂණ සඳහා හා  භෝග විවිධාංගිකරණය දිරිමත් කිරීමට වසර 2ට රු.මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරනු පිණිස පොකුරු ගම්මාන ඇති කිරීම සඳහා  සෑම ගමකටම රු.මිලියන 1500 ක් බැගින් ලබාදීමට යෝජනා කරන බවත්, ඒ සඳහා රු.මිලියන 21,000 ක් වෙන්කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


රන් මිල අඩුවී ඇති තත්ත්වයක් තුළ රන් කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව ආනයනික බදු වලින් තොරව රන් ආනයනය කිරීම සඳහා බලපත්‍ර 50 ක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට නියෝග කරන බවත්, එකී බලපත්‍ර ලබා ගැනීමෙන් තොරව රන් ආනයනය කිරීමේ කර්මාන්තයේ යෙදීමට කිසිවෙකුටත් ඉඩ ප්‍රස්ථාව ලබානොදෙන බවත් ඔහු අවධාරණය කළේය.

ඌන-උපයෝජිත ඉඩම් නිවාස සෑදීම සඳහා නිදහස් කරන බවත්, පැල්පත් වාසීන් වෙනුවෙන් නිවාස ලක්ෂයක් හා මධ්‍යම පාන්තික රජයේ හා පුද්ගලික අංශයේ නිලධාරීන්ට නිවාස එක් ලක්ෂ පනස් දහසක් සෑදීමට යෝජනා කරන බවත්, එහිදී පුද්ගලික අංශයේ සහය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ඉඩ සංවර්ධන ආඥා පනත යටතේ ස්වර්ණ භූමි වසර 10 ට වැඩි කාලයක් වාසය කළ අයට එහි අයිතිය පැවරීමටත්, වතු ජනතාවටත් එය අදාළ වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වැලි සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය හිඟ වෙමින් පවත්නා බැවින් ගැඹුරු මුහුදේ වැලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි ශුද්ධ කර ගැනීමට ගෙන්වන යන්ත්‍ර වල බදු ඉවත් කිරීමට කටයුතු කරන බවත්, පුහුණු ශ්‍රමිකයින් සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් මාස 2ක පුහුණුවක් ලබාදීමට ඒ අයට රු.10,000 ක මාසික දීමනාවක් ලබාදීමට යෝජනා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඉතිරි කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සියලුම පාසල් ළමුන්ට 2016 වසරේ සිට වාර්ෂිකව රු.250 ක් ඉතිරි කරමින් ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කරන බවත්, ඒ අනුව ලක්ෂ 45 ක් වන දරු දැරියන්ට ලබන වසර ආරම්භයේ ගිණුම් විවෘත කිරීමට බැංකු විසින් එකඟතාව පළකර ඇති බවත්, එය  වාර්ෂිකව පත්වාගෙන යාමට යෝජනා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රම වෙළඳපොලේ ගැටළු අවම කරලීමට අර්ධ කාලීන රැකියා සංස්කෘතියක් ස්ථාපිත කිරීමටත්, පුද්ගලික අංශයේ සේවා කාලය සතියකට දින 5ක් දක්වා අඩුකරලීමට ත් යෝජනා කරන බව හෙතෙම කියා සිටියේය.

පුද්ගලික අංශයේ සේවකයින්ට රු.2500 ක වැටුප් වැඩි කිරීමක් යෝජනා කරන බවත්, එය පසුගිය වසරේ ලබාදුන් අයට ගැටළුවක් නොවන නමුත් ලබා නොදුන් ආයතන වෙනුවෙන් නීතිමය ප්‍රතිපාදන සකසන බවත් ඔහු සඳහන් කළේය.

දිවයින පුරා දුර බැහැර ප්‍රාථමික පාසල් 3575 ක් ද , ද්විතියීක පාසල් 1000 ක් ද, අත්හැර දමා තිබූ පාසල් 1360 ක් ද වැඩිදියුණු කරන බවත්, ඒ සඳහා රු.මිලියන 30,000 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දල දේශීය නිෂ්පාදන යෙන් 6% ට ආසන්නව මිලියන 90,000 ක වෙන් කිරීමට යෝජනා කරන බවත්, එය දල දේශීය නිෂ්පාදනයෙන් 5.41% ක් බවත් , විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් 30%න් වැඩිකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මාලඹෙ මහපොළ විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බවත්, එහි තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර පරිපාලනය, ඉංග්‍රීසි භාෂාව ආදී රැකියා වෙළඳපළ ඉලක්ක කරගත් පාඨමාලා ආරම්භ කරන බවත්, වෛද්‍ය විද්‍යාව හැර අනෙකුත් විෂයන් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට දිරිදෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා වසර 3ක පොලී රහිත ණය මුදලක් ලබාදෙන බවත්, සියලුම විශ්වවිද්‍යාල වයිෆයි කලාප බවට පත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ව්‍යාප්ත වෙමින් පවත්නා වකුගඩු රෝගය වෙනුවෙන් රුධිර කාන්දුකරන මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිත කරන බවත්, වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් වලින් යුතු රෝහලක් මින්නේරිය ප්‍රදේශයේ ඉදිකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව නල්ලූර්, මාතලේ සහ මහනුවර විශේෂ පිළිකා රෝහල් 3ක් සහ අනුරාධපුර, කුරුණෑගල හා යාපනය රෝහල්වල පහසුකම් වර්ධනය කරමින් ඉහළ තලයකට ගෙන එන බව ඔහු පෙන්වා දුන්නේය.

දිවයින පුරා පොලිස් ස්ථාන 428 ක සිට 600 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ වසර දෙකක වැටුප් විෂමතා ඉවත් කිරීමට යෝජනා කරන බවත් රවී කරුණානායක මහතා සිහිපත් කළේය.

සියලුම ආනයනික පොත්පත්, සඟරා  සඳහා ආනයනික බදු ඉවත් කිරීමට යෝජනා කරන බව කරුණානයක අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්තල ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ බහාලුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමටත්, පියසර පුහුණු පාඨමාලා සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික අංශය දිරි ගැන්වීමට යෝජනා කරන බවත් අමාත්‍යවරයා

දක්ෂිණ-කොළඹ අධිවේගී මාර්ගය හා ‍කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය කළමනාකරණය කිරීමට විශේෂ කාර්ය ඒකකයක් ස්ථාපිත කරන බව ඔහු පෙන්වා දුන්නේය.

2016 වසරේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින කිසිවෙකුටත් එය අදාළ නොවන බවත්, 2016 වසරේ සිට රාජ්‍ය සේවයට එක්වන අයට එය බලපැවැත්වෙන බවත්,  අමාත්‍යවරයා කියා සිටියි.

විශ්‍රාම වැටුප් අරමුදල නියාමනය කිරීමට  නව නීති පද්ධතියක් හඳුන්වා දෙන බවත්, දැනට යෝජිත ඊ.පී.එෆ්/ඊ.ටී.එෆ් ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත මණ්ඩලය මේවන විටත් සාකච්ඡා පැවැත්වෙන පරිදි වෘත්තීය සමිති සමග එකඟතාවක් ඇතිකර ගන්නාතුරු ක්‍රියාත්මක නොකරන බවත් ඔහු සඳහන් කළේය.

විදේශීය රැකියා නියුක්තිකයන් සඳහා අ.ඩො 300 ක අවම වැටුපක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට යෝජනා කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


අයවැය පනත් කෙටුම්පත පසුගිය මස 23 වනදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව ලබන වර්ෂය
සඳහා වන පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් ද ඇතුළුව රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන
1941. 4 කි.

අද ඉදිරිපත් කළ අයවැය පිළිබඳ විවාදය දින 09 ක් පුරා පැවැත්වෙන අතර අයවැය ඡන්දවිමසීම සිදු කෙරෙන්නේ දෙසැම්බර් මස 02 වනදාය.

 අයවැය 03 වන වර කියවිමේ ඡන්දවිමසීම දෙසැම්බර් මස 19 වනදා සිදු කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad