නමක් අමතක වුණා නම් සොරි අපි රට හැර ගියා... - GOSSIP9.WORLD

Post Top Ad

නමක් අමතක වුණා නම් සොරි අපි රට හැර ගියා...

Share This
නෙහාරා - මේනක

‘මේ වන විට මේනක - නෙහාරා රට අතහැර ගිහින්'. 'ඔවුන්ගේ වත්මන් පදිංචිය අමෙරිකාවේ බොස්ටන් නුවර'

එහෙම කිව්වාම ඔබ එක පාරටම තුෂ්නිම්භූත වන්නට ඇති. නමුත් ඒ කතාව ඇත්ත. පසුගිය බ්‍රහස්පතින්දාවේ තමයි මේනක - නෙහාරා අමෙරිකාව බලා පිටත් වුණේ.

මේ දෙන්නට එක පාරටම මේ මොකද වුණේ කියලා ඔබ බලනවා ඇති. ඒ වගේම මේනක, නෙහාරා යුවළට බෙහෙවින් ආදරය කරන ඔබ මේ පුවත නිසා සංවේදී වන්නටත් ඇති. අප මේ පිළිබඳ ඒ දෙන්නගෙන්ම ඇහැව්වා. පළමුව අදහස් දැක්වූයේ මේනක.

මේනක, මොකද මේ හදිස්සියේම රට යන්න හිතුණේ? කාටවත් කියන්නේම නැතුව?

ඇත්තම කිව්වොත් මේ අදහස කාලාන්තරයක් තිස්සේ අපි දෙන්නගෙම හිත්වල තිබුණු දෙයක්. මං අමෙරිකාවේ ඊස්ටන් මැසරින් කොලේජ් එකට ඇප්ලයි කරලා තිබුණ. ඒ අවුරුදු ගණනාවකට පෙර. වසරින් වසර මේ ගමන පමා වුණා. එයට හේතුව වුණේ මං බාර ගත්තු නාට්‍ය ටික. ඒවා ඉවර කර ගන්නත් එපායැ. කොහොම හරි මට කොලේජ් එකෙන් අවසන් වතාවට අවුරුද්දක් කල් දුන්නා. ඒ අවුරුද්ද වැඩ ටික මං ඉවර කර ගත්තා. එහෙම සෙට් වෙලා තමයි මේ ගියේ.

මොනවද ඔබ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ?

ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ උපාධිය කරන්නයි මං හිතාගෙන ඉන්නේ. මං ලංකාවේ බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලේමාවක් කළා. එහි ඊළඟ අදියර තමයි මේ.

රංගන ශිල්පියකු වශයෙන් රංගනය හදාරන්නේ නැතිව ඇයි වෙනම ක්ෂේත්‍රයකින් උපාධියක් ගන්න හදන්නේ?

මං කුඩා කලේ ඉඳලා ගණිතයට දක්ෂයි. නෙහාරා පවා විශ්මයට පත් වුණා. ඇය ද නිතරම කිව්වා හැකියාව තියෙන පැත්තෙන් ඉදිරියට යන්න කියලා. පුංචි කාලේ ඉඳලා මං හිතාගෙන හිටියේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. ඒත් අහඹු ලෙස මේ පැත්තට යොමු වුණා. මගේ අධ්‍යාපන වැඩ කටයුතු අඩාල වන්නට මගේ තාත්තාගේ අභාවයත් තදින්ම බලපෑවා. වර්තමානය වන විට අපි අපේ ස්ථාවරය හදාගෙන තියෙනවා. මේක තමයි නැවතුන තැනින් ඉදිරියට යන්න පුළුවන් හොඳම කාලේ.

අමෙරිකාව වගේ රටක අධ්‍යාපනය ලබන්න ඉතා විශාල මුදලක් වැය වෙනවා?

ඔව්. ඒක ඇත්ත. අපි ඒ ගැන බෙහෙවින් හිතුවා. කාලයක් තිස්සේ මුදල් එකතු කළා. දීර්ඝකාලීනව සියලු දේ හිතලයි මේ තීරණය ගත්තේ.

ලංකාවේ කලා ක්ෂේත්‍රය ඔස්සේ ඔබ ඉදිරිය දකියි කියලා බොහෝ දෙනෙක් හිතුවා?

ලංකාවේ ක්ෂේත්‍රය පිළිබඳ ලොකු බලාපොරොත්තු තියාගන්න බැහැ. කෙටියෙන්ම කිව්වොත් ස්ථාවරයක් නැහැ. එයට ප්‍රධාන හේතුව වැඩ කිරීමේ පිළිවෙළක් නැතිකම. මං ගොඩක් විවේචනය කරන්නෙ නැහැ. මොකද මං මෙච්චර කල් හිටපු ක්ෂේත්‍රයනේ. ඒ නිසා ඒ ගැන ඇති.

මේනක එහෙම කතාබහ අවසන් කරද්දී නෙහාරා පැත්තක ඉඳලා ඇවිත් තවත් අදහස් කිහිපයක් දැක් වූවා.

නෙහාරා, මේ ලිපිය කියවාගෙන එද්දී ඔබේ රසික රසිකාවන් සංවේගයට පත් වන්නට ඇති?

මං දන්නවා ඒ අය කොච්චර අපිට ආදරේද, අපිත් එහෙමයි. ලෝකේ කොයි රටක හිටියත් මට මගේ ආදරණීය රසික රසිකාවන්ව නිතැතින්ම මතකයට එනවා. මොකද මට මේ තැන ලබා දුන්නේ එයාලනෙ.

ලංකාවේ වගේ නෙවෙයි, වෙනත් රටවලදී ඔබලා ජනප්‍රිය තරු ලෙසට ගණන් ගැනෙන්නේ නැහැ?

ඒක අපි දන්නවා. ලංකාවේදී අපට ලැබුණු ජනප්‍රියත්වයට අපි දෙන්නම ලෝබ නැහැ. ඒකයි මෙලෙස සියලු දේ අතහැර අපට එන්න පුළුවන් වුණේ. තවත් විදිහකින් කිව්වොත් අපිට රඟපෑමේ උණ නැහැ. එහෙම තිබුණා නම් මෙහෙම ඉන්න බැහැනෙ.

ඔබ පවසන දේවලින් තේරෙනවා ඔබට ජනප්‍රියත්වය කරදරයක් වුණු බව?

ජනප්‍රියත්වය කරදරයක් නෙවෙයි. මේ කියන ජනප්‍රියත්වය එක්ක සාමාන්‍ය විදිහට ජීවත්වන්නට ලංකාවේදී බැහැ. මට ඕනෑ බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහට පුංචි ගෙදරක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න.

ලුණුයි බතුයි කාලද?

නැහැ, නැහැ. මං මේනකට හොඳට කන්න හදලා දෙනවා.

ඔබ දෙපොළ ලංකාවෙන් යන්නේ ජනප්‍රියත්වය හිනි පෙත්තෙහිම තියෙන කාලේ?

මේ තමයි අපේ පීක්ම කාලේ. අපි ඒක දන්නවා. ජනප්‍රියත්වයෙන් යන්න පුළුවන් උපරිම තැනට අපි ගිහින් තියෙනවා. එතනින් එහාට යන්න තැනක් නැහැ. අපි එතනට එන්න බොහෝ දේ කැප කළා. නිකම් ඔහේ ඒ තැන ලබා ගත්තේ නැහැ. ඒ හින්දා අපිට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකට සරිලන මුදලක් අපට ලැබුණේ නැහැ.

කලකිරීමක් හිතේ තියෙනවා වගෙයි?

මට නම් කලකිරීමක් තියෙනවා. මේනකට නම් එහෙම නැහැ. මං අර කලින් කිව්වේ අපේ වටිනාකමට නිසි මුදලක් ලැබෙන්නේ නැහැ කියලා. අපිට වැඩිය අඩු මුදලකට රඟපාන්න අය ඕනෑ තරම් ඉන්නවා. එතකොට කරන්නේ මාව නොගෙන ඒ අයව ගන්න එක.

ඒ කියන්නේ ඔබට රංගනයට ලැබෙන අවස්ථා අඩු වුණා? කෙනෙකු හිතන්න පුළුවන් එහෙම වුණු නිසා ඔබත් මේනක සමඟ රට ගියා කියලා?

කොහෙත්ම එහෙම වුණේ නැහැ. මේනකට උපරිම වැඩ තිබුණා. මේ වන විටත් මේනක ඉන්න නාට්‍ය හයක් විකාශය වෙනවා. ඒ වගේම එක නාට්‍යයක රඟපෑම් කටයුතුවලට මේ දෙසැම්බරයේ මේනක ලංකාවට ඒවි. මාව වැඩවලට ගන්න අය කොහොමත් මාව ගත්තා. ඒ හින්දා මම රට යන්නේ මට වැඩ නැතිකම නිසා නෙවෙයි. අපි දෙන්නට රංගනයට ලැබෙන ආරාධනා උපරිමයි.

මේනක කිව්වා මේ ක්ෂේත්‍රය ස්ථාවර නැහැ කියලා?

ඔහු හරි. ස්ථාවර නැහැ තමයි. ඒ වගේම විනය අතින් අන්තිමයි. අපි වැඩ කරපු නිර්මාණවල අපිට අයිති මුදල ගන්න අපි යන්න ඕනෑ ණයකාරයො වගේ ඒ නිෂ්පාදකවරුන් ළඟට. ගිහිල්ලා වාත වෙලා බොහොම අමාරුවෙනුයි සල්ලි ඉල්ල ගන්නේ. සමහර දර්ශන තලවලදී අපට සලකන්නේ ඉතාම පහත් විදිහට. සිංහලෙන් කියනවා නම් බල්ලො වගේ අපි ඉන්නේ. සල්ලි ඉල්ලද්දී අපි හිඟන්නෝ ගානට වැටෙනවා. නිළියෝ විදිහට එහෙම ඉන්න ඕනෑද? ඉන්දියාවේ වගේ එහෙම නැහැ. කර්මාන්තයක් විදිහට ඔවුන් ඉතාම දියුණුයි. එහෙම වෙනවා නම් කොච්චර හොඳද ලංකාවෙත්.

නෙහාරා ආයේ ලංකාවට එන පාටක් නැහැ වගෙයි?

අපි දෙන්නා ගාව කොහොමත් ලොකු ප්ලෑන් නැහැ. දැනට අවුරුදු පහකටයි යන්නේ.

අමෙරිකාවේදී කලාවට එකතු වෙන්න හිතාගෙන ඉන්නවාද?

කොහෙත්ම නැහැ. මං මෙහෙදි පුළුවන් වුණොත් 8 - 5 ජොබ් එකක් කරනවා. එතකොට ස්ථිර පඩියක් ලැබෙනවා කියලා දන්නවනෙ.

මොනවද අවසන් කොට කියන්න තියෙන්නේ?

සුජාතා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ රන්ජන් ප්‍රසන්න ඇතුළු නිෂ්පාදන කණ්ඩායම මතක් කරන්න ඕනෑ. මුතු කිරිල්ලි නාට්‍යයෙන් පසුව මං කොටසක් නෑරම බැලුවේ සුජාතා. මං එහි ෆෑන් කෙනෙක්. මට වෙන දුකක් නැහැ, සුජාතා දාලා යන්න නම් මොකක්ද මොකක් ද වගෙයි. මං මේ වෙලාවේ මට උදව් කළ හැමෝමව මතක් කරනවා. මාව ක්ෂේත්‍රයට ගෙනාව සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය සහ ලිලන්ත කුමාරසිරි, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, රවීන්ද්‍ර විජේරත්න යන අධ්‍යක්ෂවරුන් මතක් කරනවා. යම් නමක් අමතක වුණා නම් සොරි කියලත් කියනවා.

No comments:

Post a Comment

Post Bottom Ad