කිසිදාක මාතෘභූමියට හෝ ශ්‍රීලනිපයට ද්‍රෝහී වී නෑ - මහමැතිවරණයට අපි එනවා - GOSSIP9.WORLD

Post Top Ad

කිසිදාක මාතෘභූමියට හෝ ශ්‍රීලනිපයට ද්‍රෝහී වී නෑ - මහමැතිවරණයට අපි එනවා

Share This
තමන් කිසිදු දිනෙක කිසිදු කලෙක මාතෘභූමියට හෝ ශ්‍රීලනිපයට ද්‍රෝහී වී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බොහෝ දුෂ්කර අවදිවලදී පවා තමන් පක්ෂය වෙනුවෙන් කටයුතු කළ බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(01)මැදමුලනදී තමා හමුවීමට පැමිණි ජනතාව අමතා කතා කරමිනි.

එජාපය පාලනය කළ මාස 6ක කෙටිකාලයක් ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් එල්ලවී ඇති බවත්, ජාතික ආර්ථිකයට බරපතළ අභියෝගයක් එල්ලවී ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



ත්‍රස්තවාදය නිමා කරලා රටට නිදහස ලබාදුන්නාට  එයින් මාස 6ක් යද්දී ත්‍රස්තවාදීන්ට වන්දි ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් පවා ගෙන ඒමට මේ රජය කටයුතු කළ බවත්, වාසනාවට එය සම්මත නොවුණු බවත් ඔහු ‍සිහිපත් කළේය.

රට වෙනුවෙන් නතරවුණු සංවර්ධනය යළි ස්ථාවර කිරීමටත්, කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීමටත් එළඹෙන මහමැතිවරණයේදී තමන් මහමැතිවරණයට තරඟකරන බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.


පසුගිය ජනවාරි 09 වනදායින් පසුව නොයෙකුත් තර්ජන ගර්ජන හා බියවැද්දීම් මධ්‍යයේ අදවනතුරු තමාව අත්නොහැරි පක්ෂ නායකයින් මෙන්ම සහෝදර ජනතාවගේ ඉල්ලීම් කිසිවිටෙක අතහැරදැමීමට තමන් සූදානම් නොමැති බව ද ඔහු කියා සිටියේය.

1970 දී තමන් ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ බවත්, එතැන් සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු,ඇමතිවරයෙකු,විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරයෙකු ලෙසද දිගු ගමනක් ආ බවත්, එදා මෙන්ම අදත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට තමන් ගරුකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

තමන්ට ඒකාධිපතියෙකු බවටත්, සොඳුරු ආඥාදායකයෙකු බවටත් විවිධ චෝදනා එල්ල කරනු ලැබුවද තමන් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ලංකා මැතිවරණ ඉතිහාසයට පූර්වාදර්ශයක් සපයමින් ඉවත්ව ගිය බව සියලුමදෙනා දන්නා බව ඔහු සිහිපත් කළේය.


තමන් මේ රට එකපාරටම බාරදී ගියාදැයි විදේශ රටවල උදවිය පවා පුදුමයට පත්වූ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.


තමන් ජනාධිපතිවරණයේදී ජනතා තීන්දුවට හිස නමා ගොස් දින 7ක් තුළ පක්ෂයේ නායකත්වය බාරදුන් බවත්, එහෙත් තමාට පක්ෂ නායකත්වය ලබාගැනීමට මාස 7ක පමණ කාලයක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදුවූ බවත්, පක්ෂ සම්මේලනයක් පවා කැඳවූ බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ මේ රටේ තරුණයින් ටයර් සෑයට යැවූ සැටිත්, ගෝනි බිල්ලන් පැමිණ තරුණ තරුණියන් පැහැර‍ගෙන ගිය සැටිත් නූතන තරුණ පරපුර නොදන්නා නමුත් වැඩිහිටියන් දන්නා බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මේ රජය දින 100ක කාලය තුළ පමණක් එතනෝල් බලපත්‍ර 27 ක් ලබාදී ඇති බවත්, ඊට පසුව කාලයේදීද ලබාදුන් බව සැලවූ බවත් ඔහු අවධාරණය කළේය.

එහෙත් තම ආණ්ඩු කාලයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත්, ව්‍යවස්ථාවට පිටින් කිසිදු දෙයක් සිදුනොකළ බවත්, ව්‍යවස්ථාවට ගරු කළ බවත් හෙතෙම කියා සිටියේය.

ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හා ව්‍යවස්ථානුකූල ලෙස බලතල හා වගකීම් බාරදී තමා මැදමුලන නිවසට පැමිණියද තමාට අභූත චෝදනා නැඟුණු බවත්, එහෙත් තමා හිස් අතින් මිස කිසිවක් රැගෙන නොපැමිණි බව රටේ ජනතාවගේ හදවත් හොඳින් දන්නා බව රාජපක්ෂ මහතා කියා සිටියේය.


ඒ නිසාම තමාට රටේ ආරක්ෂාව වෙනුවෙන් මහමැතිවරණයට පැමිණෙන ලෙස ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නොමැති බවත්, එසේ කිරීමට අයිතියක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වාදුන්නේය.


තමාට ඇත්තේ එක බැඳීමක් බවත්, එක ගිවිසුමක් බවත් , එය ජනතාව සමග බැඳී පවත්නා ගිවිසුම බවත්, මේ ගමනේදී තමාට ආශිර්වාද කළ මහා සංඝරත්නය ඇතුළු ඈත පිටිසර ගම්මානවල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සිට දියවන්නාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දක්වා සියලුම දෙනාට තමාගේ ප්‍රණාමය පුදකරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රීලනිපයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පවා දේශප්‍රේමි පිරිස් වෙතින් තමා ඉල්ලා සිටින්නේ 2005 දී එක්වූ ආකාරයෙන්ම තමන් සමග අත්වැල්බැඳගන්නා ලෙස යයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad