මෛත්‍රී - මහින්ද සාකච්ඡා තිබුණා - හැබැයි තැන එතැන නෙවෙයි - GOSSIP9.WORLD

Post Top Ad

මෛත්‍රී - මහින්ද සාකච්ඡා තිබුණා - හැබැයි තැන එතැන නෙවෙයි

Share This
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති බවත්, ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අදාළ සාකච්ඡා පැවැති ස්ථානය පමණක් බවත්,  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතර කථානායක නිල නිවසේදී පසුගිය 25දා සාකච්ඡාවක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණ.



එසේ වුවද එවැනි සාකච්ඡාවක් කථානායක නිල නිවසේ නොපැවති බව ජනාධිපති මාධ්‍ය අංශයත්, හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයත් මාධ්‍ය නිවේදන මගින් සඳහන් කරන ලදී.

මේ අතර අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  මහතා කියා සිටියේ දෙදෙනා අතර සාකච්ඡාවක් පැවති බවත්, සාකච්ඡා පැවැති ස්ථානය පමණක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රතික‍්ෂේප කළ බවත්ය.


පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා සන්ධානය සමග එක්ව කටයුතු කිරීම ගැන සුළු පක්ෂ සමග සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත්, අද රාත්‍රී 8ට සෝමවංශ අමරසිංහ මහතාගේ පක්ෂය සමග ද සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, හෙතෙම පැවසීය.

සාකච්ඡාවල අරමුණ ජනතාවට ගැලපෙන මැතිවරණ ප්‍රකාශයක් සැකසීම බවද පැවසූ අමාත්‍යවරයා පසුගිය දිනවල අගමැතිවරයා අමෙරිකාවේ ඡන්ද ක්‍රමයක් ගැන කතා කළ බවද, එසේ වුවත් අප රටට අවශ්‍ය ගැලපෙන ඡන්ද ක්‍රමයක් සැකසිය යුතු බවද කියා සිටියේය.

මහින්ද මෛත්‍රී සාකච්ඡා යම් කිසි තැනකට පැමිණ ඇති නමුත් තමුන්ට ඒ ගැන නිල ප්‍රකාශයක් කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.

තමන් හිටපු ජනාධිපතිවරයාට බොහෝ සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් ලෙස ඔහු ඉදිරියේදී ගන්නා තීරණයකට ආශිර්වාද කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad