20ට එජාපය බෙල්ලෙන් අදිනවා-ආණ්ඩුවට එක්වීමෙන් වාසිවුණා - GOSSIP9.WORLD

Post Top Ad

20ට එජාපය බෙල්ලෙන් අදිනවා-ආණ්ඩුවට එක්වීමෙන් වාසිවුණා

Share This
යුද්ධයෙන් පසුව දමිල ජනයා දිනාගැනීමට හා ජිනීවා ගැටළු වලට  විසඳුම් ලෙස ජාත්‍යන්තර සහය ලබාගැනීමටත් යන කාරණාවන්ට අදාළව ජනාධිපතිවරයාට සහය ලබාදීම පිණිස ආණ්ඩුවට එක්වුණු බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

එසේ වුවද ඊයේ දිනයේ ශ්‍රීලනිපය නියෝජනය කළ අමාත්‍යවරුන් සිව්දෙනෙකු අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.



19 සම්මත කර ගැනීමට පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන අමාත්‍ය පදවි ලබාගත් බවත්,20 සම්මත කර ගැනීම සම්බන්ධයෙන්ද සුපුරුදු ලෙස එජාපය කකුලෙන් නොව මේවන විට බෙල්ලෙන්ම අදින බවද ඔහු අවධාරණය කළේය.


ශ්‍රීලනිපය ආණ්ඩුවේද විපක්ෂයේද යන අපැහැදිලි තත්ත්වය තවමත් ක්‍රියාත්මක බවත්,එසේ වුවද ආණ්ඩුවට එක්වීමෙන් දිනාගත් දේද පවත්නා බවත් දිසානායක මහතා කියා සිටියේ අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කල් ඉකුත්වුණු පළාත්පාලන ආයතනවල නිල කාලය මාස එක හමාරක් කල්දමා ගැනීමට හැකිවූයේද ආණ්ඩුවට එක්වීමෙන් බවත්, එය තවත් දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කළද එසේ කරනු ලැබුවහොත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි ජනාධිපතිවරයා කරුණු දැක්වූ බවත්, කෙසේ වෙතත් එම ඉල්ලීම ඉටුනොකිරීමත් ඊයේ දිනයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට එක් හේතුවක් වුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.


එසේම තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවට එක්නොවීනම් එකම පළාත් සභාවක් හෝ ශ්‍රීලනිපයට ඉතිරි නොවනු ඇති බවත්, එබැවින් එයද ලැබූ වාසියක් බවත් දිසානායක මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ආණ්ඩුවට එක්වීම තුළින් ආණ්ඩුවෙන් තම පක්ෂයේ දේශපාලන නායකයින්ට එල්ලවන හිරිහැර අවම කරගැනීමට හැකිවූ බවයි.

එසේම ආණ්ඩුව තුළ හිඳිමින් ආණ්ඩුවේ වැරදි වලට එරෙහිව කටයුතු කිරීමට හැකියාව ලැබෙන බවත් අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad