අතුරුදහන් වූවෙක් වසර විසි හතරකට පසුව - GOSSIP9.WORLD

Post Top Ad

අතුරුදහන් වූවෙක් වසර විසි හතරකට පසුව

Share This
1990 වර්ෂයේ සිට අතුරුදහන් වී සිටි තැනැත්තකු භාර ගන්නා මෙන් හම්බන්තොට අධිකරණය එම තැනැත්තාගේ පවුලේ ඥාතීන්ට දැනුම් දීමේ සිද්ධියක් වාර්තා වෙයි.

වසර විසි හතරක කාලයක් අතුරුදහන් තත්වයේ සිටි යාපනයේ චුන්නාකම් පළාතේ පදිංචිකරුවකුව සිටි කේ.වයිරවනාදන් නැමැත්තාභාර ගන්නා ලෙසයි හම්බන්තොට අධිකරණය ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දී තිබෙන්නේ.

අතුරුදහන් වූ පුද්ගලයාගේ ඥාතියකු වන තේවා ලෝගේස්වරන් පවසන්නේ කේ.වයිරවනාදන් මේ වන විට වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු බවයි.

මානසික රෝගයකින් පෙළුන කේ.වයිරවනාදන් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදහන් වී තිබෙන්නේ 1990 වර්ෂයේදීය.

ඉන් ටික කලකට පසුව කේ.වයිරවනාදන් කොළඹ බන්ධනාගාරයක සිටින බවට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ඥාතියෙකු ඔහු බැලීමට යන අතරතුර හෘදයාබාධයක් වැළදී මිය ගොස් ඇති අතර ඒ සමඟ ඔහු ගැන සෙවීමේ කටයුතු නතර වූ බවයි තේවා ලෝගේස්වරන් පවසන්නේ.

ඇතුලත්මුදලි ඝාතනය

මේ අතර පසුගිය දිනක හම්බන්තොට අධිකරණයෙන් ලැබුණු ලිපියකින් වයිරවනාදන්ගේ දඬුවම් කාලය අවසන් බැවින් ඔහු නිදහස් කර රැගෙන යාමට වගකිවයුතු පුද්ගලයෙකු පැමිණෙන ලෙසට දැණුම් දීමක් කෙරුණ බව පවසන ලෝගේස්වරන් ඒ පිළිබදව සිදු කළ සොයා බැලීමක දී 1991 දී ලලිත් ඇතුළත් මුදලි හිටපු අමාත්‍යවරයා ඝාතනය සම්බන්ධයෙන් සැක පිට වයිරවනාදන් අත් අඩංගුවට ගෙන ඇති බවක් දැන ගන්නට ලැබුණු බවයි කියා සිටින්නේ.

ඔහුට එරෙහිව විභාග වූ නඩුවේදී වසර විස්සක සිර දඩුවමකට යටත් කෙරුණ වයිරවනාදන් එම දඬුවම් කාලය නිම වීමෙන් පසු තවත් වසර හතරකට ආසන්න කාලයක් බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවත් එම තත්වය යටතේ ඥාතීන් කිසිවෙකුට වයිරවනාදන් ගැන තොරතුරක් දැන ගැනීමට නොහැකි වූ බවත් තේවා ලෝගේෂ්වරන් පවසයි.

වයිරවනාදන් යනු අමාත්‍යවරයෙකු ඝාතනය කිරීමට තරම් ශක්තියක් නොමැති පුද්ගලයකු වූ බවයි තේවා ලෝගේෂ්වරන් කියා සිටින්නේ.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු පොලිසිය වෙත ලැබී නොමැති බවයි.

වයිරවනාදන් භාර ගැනීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් හම්බන්තොට බලා පිටත්ව ගිය බවයි බීබීසී වාර්තාකරු දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad