ඇස් ඉදිමෙන්නට පහරදීම අවම බලය නොවේ - කොටුව මහේස්ත්‍රාත් - GOSSIP9.WORLD

Post Top Ad

ඇස් ඉදිමෙන්නට පහරදීම අවම බලය නොවේ - කොටුව මහේස්ත්‍රාත්

Share This
පොලීසිය අවම බලය යෙදවීම යනු විරෝධතාකරුවන්ගේ ඇස් ඉදිමෙන්නට පහරදීම නොවන බව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප‍්‍රකාශ කළේය. 

එ් සම සෞඛ්‍ය ගැටලූව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සරසවි සිසුන්ට ඇප ලබා දෙමිනි. 

අත්අඩංගුවට ගැනුනු සිසුන් 18 දෙනාගෙන් අට දෙනෙකු කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

උසාවි නියෝග කඩ කරමින් උද්ඝෝෂණය කිරීම, පොලිස් රාජකාරීවලට බාධා කිරීම හා කලහකාරී ලෙස හැසිරීම නිසා මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී කොටුව මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට අවධාරණය කළේ අවම බලය යෙදවීම යනු ඇස් ඉදිමෙන්නට පහරදීම නොවන බවයි.

පොලීසිය ඉල්ලූ පමණින් අධිකරණ නියෝග නෑ
ඉතිරි සිසුන් දස දෙනා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ශිෂ්‍ය උද්ඝෝෂණ නතර කිරීම සඳහා මින් පසුව පොලීසිය විසින් පමණක් කරනු ලබන ඉල්ලීම් සඳහා අධිකරණ නියෝග ලබා නොදෙන බවද කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවධාරණය කළේය.

යම් ඉල්ලීමක් පොලීසිය ඉදිරිපත් කරන්නේ නම් ඊට සම්බන්ධ අනෙක් පාර්ශ්වයද අධිකරණයට කැඳවීමෙන් පසු පමණක් එවැනි නියෝග මින් ඉදිරියට නිකුත් කරන බව හෙතෙම කියා සිටියේය. ඉන් පසු අනෙත් සිසුන් සියලූ දෙනාද රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරිමට එහිදී නියෝග කෙරිණි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක්
ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ සංවිධානය අවස්ථාවලදී ඒවා අත්හිටුවීමට අධිකරණ නියෝග ලබාගැනීම පොලිසිය විසින් මෑතක සිට විලාසිතාවක් බවට පත් කරගත් අතර, උද්ඝෝෂකයින්ගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමෙන් තොරව පොලිසියට අවශ්‍ය පරිදි තහනම් නියෝග ලබාදීම අධිකරණය විසින්ද මෙතෙක් අනුගමනය කළ පිළිවෙත විය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට බරපතළ තර්ජනයක් බව දේශපාලන ක්ෂේත්‍රයේ විවේචනයට ලක් වූ නමුත් ඊට එරෙහිව ප්‍රායෝගික පියවරක් ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

පොලිසිය විසින් ඒක පාර්ශ්විකව ලබාගත් අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණයේ යෙදෙමින් පළමු වරට මෙම තත්ත්වයට එරෙහිව ක්‍රියාත්මක වූයේ සරසවි සිසුන්ය. කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දෙන ලද මෙම තීරණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

එමෙන්ම කොටුව මහේස්ත්‍රාත්වරයාගේ මෙම තීරණය, අධිකරණ‍ය කෙරෙහි පළුදු වී ඇති මහජන විශ්වාසය යළි ගොඩනැගීම පිණිස හේතුවන එඩිතර පියවරකි.

No comments:

Post a Comment

Post Bottom Ad