කරුංකා කන්ටේනර් නිදහස් කරයි ! - GOSSIP9.WORLD

Post Top Ad

කරුංකා කන්ටේනර් නිදහස් කරයි !

Share This
කරුංකා ආනයනය සඳහා වූ බලපත‍්‍ර අත්හිටුවා තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබියදී සහ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව ශ‍්‍රී ලංකාවට කරුංකා ආනයනයට ඉඩ නොදෙන ලෙස සුළු අපනයන භෝග අමාත්‍යවරයා දැනුම්දී තිබියදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගයක් මත අත්අඩංගුවට ගත් කරුංකා කන්ටේනර් නවයක් නිදහස් කර ඇත.

නියමිත බලපත‍්‍ර නොතිබීම නිසා රේගුව විසින් මෙම කරුංකා කන්ටේනර් නිදහස් කිරීම අත්හිටුවූ අතර රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගය මත එම කරුංකා කන්ටේනර් නවය නිදහස් කර ඇත්තේ මැයි 7 දිනය.

මෙම කරුංකා කන්ටේනර් නිදහස් කළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව විමසීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දුරකතනයට සම්බන්ධ කරගැනීමේදී තමා අවමඟුල් උත්සවයකට සහභාගිවෙමින් සිටින බව පැවසූ ඔහු ඒ පිළිබඳව රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසන ලෙස දැනුම් දුන්නේය.

රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිය හැක්කේ අදාළ ලිපිගොනුව පරිශීලනය කිරීමෙන් පසු බවය.

මෙම කරුංකා කන්ටේනර් නවය නිදහස් කිරීම සඳහා වූ ලිඛිත නියෝගය කළ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් එම්. කුයිහරන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි එම නියෝගය ලබා දුන් බවයි.

රට තුළ පවතින නීතිය අනුව ආනයනික ශාක ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම සඳහා ශාක අපනයන බලපත‍්‍රයක් අවශ්‍ය අතර කරුංකා ආනයන අපනයනය සම්බන්ධයෙන් නිකුත් කරන ලද සියලූ බලපත‍්‍ර කැබිනට් මණ්ඩල තීරණයක් අනුව අත්හිටුවා ඇති බව 2014 අපේ‍්‍රල් 17 දින සහිත ලිපියක් මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා ඇත. රේගු නිලධාරීන් විසින් මෙම කරුංකා කන්ටේනර් නිදහස් කිරීම අත්හිටුවා ඇත්තේ ඒ අනුවය.

එමෙන්ම මෙම සිදුවීමෙන් පසු මැයි 05 දින දරන ලිපියක් මගින් සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍යවරයාද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා ඇත්තේ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිදු කරුංකා ආනයනයක් රට තුළට නොකරන ලෙසය.
වාර්තා වන ආකාරයට, මේ ආකාරයට ගෙන්වූ කරුංකා කන්ටේනර් 57ක ප‍්‍රමාණයක් දැනට කොළඹ වරාය තුළ තිබෙන අතර ඒ සියල්ලම ගෙන්වා ඇත්තේ වයඹ ටේ‍්‍රඩර්ස් නමැති එකම ව්‍යාපාරිකයකු මගින්ය. නිදහස් කිරීමට අවසර දී ඇත්තේ ඉන් කන්ටේනර් නවයකටය.

අගය එකතු කර ඉන්දියාව සඳහා ප‍්‍රතිඅපනයනය කිරීම මුවාවෙන් මෙම කරුංකා රට තුළට ගෙන්වන අතර මේ ව්‍යාපාරික කටයුත්ත සඳහා ක‍්‍රියාත්මක විය යුතු කිසිදු නියාමනයක් හෝ පරීක්ෂාවක් මෙතෙක් සිදුවී නැතැ’යි කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad