තංගල්ලේ ඝාතනය : ඇසින් දුටු සාක්ෂියක් ? - GOSSIP9.WORLD

Post Top Ad

තංගල්ලේ ඝාතනය : ඇසින් දුටු සාක්ෂියක් ?

Share This
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුව අද සඳුදා කොළඹ මහාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගනු ලැබූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂි කාරියක් කියා සිටියේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු හතර දෙනකු විසින් කුරාම්ට සහ ඔහුගේ පෙමවතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට පහර දෙන ලද ආකාරය තමා දුටු බවයි.

ඝාතනය සිදු කෙරුණ හෝටලයේ එවකට කළමනාකාරිනිය ලෙස කටයුතු කළ තරංගා පීරිස් මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු චූදිතයන් හතර දෙනා 2011 දෙසැම්බර් මස 24 වෙනි දින රාත්‍රියේ තමා සේවය කළ හෝටලයේ පැවැත්වුණ නත්තල් සාදයකට සහභාගී වෙමින් සිටි බව ප්‍රකාශ කළාය.

සාදය පෙරට යමින් තිබියදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ කුරාම් ෂයික්ට පහර දෙනු දුටු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

කුරාම් ෂයික්ගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා කාචේවාට ද පහර දෙනු දුටු බව කියා සිටි සාක්ෂිකාරිය, පහර කෑමට ලක් වූ වික්ටෝරියා පිහිනුම් තටාකයට ඇද වැටුණ බවත් කියා සිටියාය.

පහර කෑමට ලක්ව පිහිනුම් තටාකයට ඇද වැටුණ රුසියානු තරුණිය ඉන් පිටතට පැමිණීමට තැත් කරද්දී නඩුවේ පළමු විත්තිකරු වන ලහිරු කැලුම් ඇයට දරුණු ආකාරයට පහර දෙනු තමා දුටු බව තරංගා පීරිස් අධිකරණය ඉදිරියේ කියා සිටියාය.

ගිණි අවියක් පෙන්වා
අනතුරුව සාක්ෂිකාරිය ඉහත කී ප්‍රහාරයට සම්බන්ධ වූ විත්තිකරුවන් හතර දෙනා අධිකරණය ඉදිරියේ හඳුනා ගත්තාය.

" ගැටුම සම්බන්ධයෙන් තමා පොලිසියට දැනුම් දීමට උත්සාහ කළ අවස්ථාවේ හතරවැනි විත්තිකරු වන ප්‍රජිත් චතුරංග ගිණි අවියක් පෙන්වා තමා මරා දමන බවට තර්ජනය කළ බවත් " තරංගා පීරිස් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.

මෙම නඩුවේ මීළඟ සාක්ෂි විභාගය අප්‍රියෙල් දෙවනිදාට කල් තබන ලද අතර, විත්තියේ නීතිඥයන් විසින් සාක්ෂිකාරියගෙන් එදින හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad