අසමගියට පාර කපන්නෝ කවුදෝ ? - GOSSIP9.WORLD

Post Top Ad

අසමගියට පාර කපන්නෝ කවුදෝ ?

Share This
කොටියා යළිත් හිස ඔසවා ඇති බවට පාළකයෝ මේ දිනවල නිරන්තරයෙන්ම අනතුරු හඟවති. මේ තව කොටින්ගේ නායකයෙකු නොරටදී අල්ලාගෙන ලංකාවට රැගෙන ඒමට තමන් සමත් වූ බව පාලකයෝ මෑතකදී පුරසාරම් දෙඩුවෝය.

කොටි නායකයකු ලෙස අපේ පාලකයින් හඳුන්වන මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විදෙස් රටවල් දෙකක සහය ලංකාවට ලැබිණි. ඒ ඉරානයේ හා මලයාසියාවේය. මේ රටවල් දෙකම මුස්ලිම් බහුතරයක් සහිත රාජ්‍යයෝය.

අද ලංකාවට සිටින ජාත්‍යන්තර මිතුරන්ගේ වැඩිදෙනා මුස්ලිම් බහුතරයක් සහිත රටවල්ය. මෙවර ජිනීවා වාදයේ දී ලංකාවේ පාලකයින් ආරක්ෂා කරමින් ඉතාමත්ම සාර්ථක දේශනය කළේ අපේ විදෙස් ඇමතිවරයා නොව මුස්ලිම් බහුතරයක් සහිත පක්ස්ථානයේ විදෙස් ඇමතිවරයාය.

යම් හෙයකින් මුස්ලිම් බහුතරයක් සහිත රටවල සහය ලංකාවට අහිමි වූවහොත් මෙරට ජාත්‍යන්තර තලයේ අතිශයින්ම හුදෙකලා වනු ඇත.

ආගම්වාදී විලක්කුවක් රැගෙන බෞද්ධ - මුස්ලිම් ගින්නක් ඇවිලවීමට උත්සාහ කරන්නවුන්ට මේ සරල සත්‍ය නොවැටහෙන්නේ වෛරයෙන් හා ක්‍රෝධයෙන් සාමාන්‍යය බුද්ධිය යටපත් වූ නිසා විය යුතුය.

1983 කලු ජූලිය නිසා මේ රටට වූ හදිය අමුතුවෙන් කිව යුතු නැත. කුඩා අවි ගැටුමක් මහා යුද්ධයක් බවට පත්වූයේත් තමිල්නාඩුව අපට සතුරුවූයේත් ජාත්‍යන්තර තලයේ අප අපකීර්තියට පත්වූයේත් එබැවිනි. කලු ජූලිය හටගත්තේ කාගේ වරදින්ද. ඊට වගකිවයුතු කවුද යන්න පිළිබඳව වාද විවාද තිබිය හැක. එහෙත් කළු ජූලිය නිසා ලංකාවටත් සිංහල ජනතාවටත් ඉමහත් හානියක් වූවාය යන්න පිළිබඳව නම් වාදයක් තිබිය නොහැක.

ආගම්වාදී විලක්කුවක් රැගෙන දකුණේ සැරිසරන ගිහි පැවිදි කොටස් දැනුවත්ව හෝ නොදැනුවත්ව‍ හෝ උත්සාහ කරන්නේ මේ රටත් එහි වෙසෙන අපත් කළු ජූලියටත් වඩා බිහිසුණු නරාවළකට ඇද දැමීමටය.

මෙයට වසරකට පමණ පෙර මේ නූතන හනුමන්තලා හලාල් ප්‍රශ්නයක් ඇදගෙන රට ගිනි තබන්න සැරසුනහ. හලාල් මහා වුවදුරක් බවත් එයට එරෙහිව තමන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන බවත් ඔවූහු කීවෝය. ඉන් පසු හලාල් අත්හර ගවඝාතනය ගැන කෑ ගැසුවෝය. ඉන් අනතරුව හික්බ් ප්‍රශ්නය ඇදගත්තෝය. දැනු මේ හනුමන්තලාගේ අලුත්ම සටන්පාඨය විල්පත්තුවයි.

යලි යලිත් සැකය, ක්‍රෝධය, වෛරය වපුරන විට එහි ප්‍රතිඵලය නම් ප්‍රචණ්ඩත්වයට දොරක් විවරවීමයි. මේ ආගම්වාදී විලක්කුවක් ගෙන කරන හනුමා නැටුම නිසා මුස්ලිම් විරෝධී ගැටුමක් නිරුමානය වුවහොත් එහි ප්‍රතිඵල කවරක් විය හැකිද?

ජාත්‍යාන්තර තලයේදී මුස්ලිම් බහුතරයක් සහිත රටවල මිත්‍රත්තවය, සහායෝගය හා ආරක්ෂාව ලංකාවට අහිමිවෙනු ඇත. මැදපෙරදිග රටවල සේවය කරන සිංහලයින් විශේෂයින්ම සිංහල‍ බෞද්ධයින්, අනාරක්ෂිත වනු ඇත. ඔවුන් බොහෝදෙනෙකුට තම ජීවනෝපාය හැර දමා යලි ලංකාවට පැමිනීමට පවා සිදුවනු ඇත. අල්කයිඩා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ලංකාව තම සතුරු රාජ්‍යයක් ලෙස සැලකුව ‍හොත් එතුළින් ලොව පුරා සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් හටගනු ඇත.

බුදුන්වහන්සේ දෙසූ දහම රටකට ජාතියකට කුලයකට සීමාවූවක් නොවෙයි. මෛත්‍රීභාවනාව වඩන විට සියලු සත්වයෝ නිදුක්වෙත්වා යැයි සිතනවා විනා සිංහල බෞද්ධයින් පමණක් නිදුක්වෙත්වා යැයි සිතන්නේ නැත.

ආගම්වාදී විලක්කු ගෙන රටගිනිතබන්ට උත්සාහ කරන ගිහි පැවිදි පිරිස් ඉතාමත්ම අතලොස්සකි. ‍බහුතරයක් ස්වාමීන්වහන්සේලා හෝ බහුතරය බෞද්ධයින් මේ හනුමන්තා ක්‍රියාපටිපාටිය අනුමත නොකරන බව අපි දනිමු. එහෙත් මේ හනුමන්තලාගේ අවිද්‍යාත්මක ක්‍රියා නිසා මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් හටගත හොත් අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධාන විදෙස් රටවල සිටින ලාංකීය භික්ෂූන් වහන්සේලාට ප්‍රහාර එල්ල කිරීමට හොඳටම ඉඩ තිබේ.

ලංකාව පුරා මුස්ලිම් විරෝධයක් ජනිත කරවීමටත් තැත් දරන නූතන හනුමන්තලාට මේ සරල සත්‍ය නොපෙනෙන්නේ ඔවුන්ගේ මනස වෛරයෙන් විකෘති වී ඇති නිසාද?

ගතවූ දෙවසරක පමණ කාලයක සිට වූ සිද්ධීන් දෙස බලන වි‍ට පෙනීයන්නේ රටේ නීතිය මේ පන්දම්කාරයින්ට බල නොපාන බවය. ඔවුන් සිටින්නේ නීතියට ඉහළිනි. ඔවුන් නීතිය කඩන්නේ පොලීසිය බලා සිටියදීය.

ගතවූ සතියේ නිපෝන් හෝටලයේ වූ සිදුවීම් මේ අවනීතික චර්යාවේ එක් ප්‍රකාශනයක් පමණි.

ලංකාව නාමික වශයෙන් හෝ ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙරට ජනතාවට විවස්ථාවෙන්ම සහතික කොට ඇත. බුදු දහම ද අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ඨියකි. එහි පාප්වරුන් අයටෝල්ලාවරුන් නොමැත.

එහෙත් නිපෝන් හෝටලයේ සිද්ධියෙන් පෙනී යනුයේ බුදු දහමට ජාතිබේදය, කුල බේදය, ඇතුළු කළාක් මෙන්ම සංඝ ශාසනයට ආගමික නායකයකු නිර්මාණය කිරීමේද උත්සාහයක් පවතින බවය.

බෞද්ධ භික්ෂූන් හා ස්ලාමීය පූජකවරුන් පිරිසක් නිපෝන් හොටලයේදී පවත්වන්නට සූදානම් කෙරුණු මාධ්‍ය හමුව නීතිවීරෝධී එකක් නොවේ. නීතිවිරෝධී ක්‍රියාවක් කළේ මේ මාධ්‍ය හමුව තර්ජනයෙන් ගර්ජනයෙන් නවතා දැමූ බොදු බලසේනා සංවිධානයයි. අනේක් භික්ෂූන් වහන්සේලාගේ කතා හා ක්‍රියා පාලනය කරන්නට හිමිනමකට අයිතියක් ලැබුනේ කවර පදනමින්ද? මෙවන් පාලනයක් අපේ මහානායක සුවාමීන්වහන‍්සේලා අතින් සිදුවූවානම් එහි යම් අර්ථයක් ති‍බේ. එය සේසු භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට බොදුබල සේනාවට කිසිම ආගමික, නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නොමැත. මෙවන් ක්‍රියා දිගින් දිගටම සිදුවුවහොත් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ධර්මය වෙනුවට ධර්මයේ නාමයෙන් මැරබලය දික්විජය කිරීමයි.

ගලගොඩ අත්තේ ඥානාසාර හිමියන් එදා නිපෝන් හෝටලයේදී කියා සිටියේ මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කථා කිරීම මුස්ලිම් ආගමික පූජකවරුන්ට බාරදිය යුතු බවත් මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න ගැන බෞද්ධ භික්ෂූන් වහන්සේලා කථා නොකළ යුතු බවත්ය. මෙය මුළුමනින්ම බෙදුම්වාදී මතයකි. යම් ජනවාර්ගයක හෝ ආගමික ප්‍රශ්නගැන කතා කිරීමට ජනවර්ගයට හෝ ආගමට සීමාකිරීම බෙදුම්වාදයේ මූලික සිද්ධාත්තයකි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කිරීමට සිංහලුන්ට අකපැයි කීම ජාතිබේද වාදයට හා ජාතිවාදී - බෙදුම්වාදයට උඩගෙඩි දීමකි. මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්න ගැන කථා කිරීම බෞද්ධයන්ට අකැපයයි කීම ආගම් භේදවාදයට හා ආගම්වාදී - බෙදුම්වාදයකට මුල ලිරීමකි.

මෙලෙස මෙරට සිටින විවිධ ආගමිකයින් අතර අසමගිය වර්ධනය කිරීම පාලකයින්ට වාසි විය හැකි වුවද එය රටට හෝ ජනතාවට වැඩදායක නොවේ. අද අවශ්‍යවනුයේ ජාතිවාදය මතට ආගම්වාදයකුත් පැටවීම නොව හැකි තාක් විවිධ ජනවාර්ගිකයින් හා ආගමිකයින් අතර සහජීවනය වර්ධනය කිරීමයි.

එවැනි යහපත් හා වැඩදායී ගමණක යෙදුන භික්ෂූන් වහන්සේ කෙනෙකු ගතවූ මාසයේදී අපවත්විය. ඒ රන්තිලිගම රත්නජෝති ස්වාමීන්වහන්සේය.

1915වෙන් පසු ‍මෙරට මුල්ම බෞද්ධ - මුස්ලිම් ගැ‍ටුම හටගත්තේ 2001 මාවනැල්ලේදීය. ඉන් පසු මාවනැල්ලේ බෞද්ධ - මුස්ලිම් සමගිය ගොඩනැගීමටත් එතුළින් යලිත් එවැනි ප්‍රචණ්ඩත්වයක් හටගැනීම වැලැක්වීමටත් රථනජෝති හිමියෝ මූලිකව කටයුතු කළහ. තමන් වහන්සේ වැඩවිසූ හෙම්මාතගම ප්‍රදේශයේ සිංහල - මුස්ලිම් මිතුරු සංවිධානයක් පිහිටුවා ආගමික සහයෝගීතාව හා සහජීවනය වර්ධනය කිරීමට රථනජෝති හිමියන් කටයුතු කළේ "සියළු සත්වයෝ නිදුක්වෙත්වා" යන බුදුවදනට අනුකූලවයි.

උන්වහන්සේගේ මේ නිහඬ ජාතික හා සාමාජීය මෙහෙවරේ ප්‍රතිඵල පැහැදිලිවම දෘෂ්‍යමාන වූයේ උන්වහන්සේගේ ආදාහන උත්සවයේදීය ප්‍රදේශීය මුස්ල්ම් ජනතාව බෞද්ධ ජනතාව සමග එක්ව උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව සෝක වූහ. ආදාහන පෙරහැරේ උන්වහන්සේගේ දේහය කරතබාගෙන ගියේ ප්‍රදේශයේ මුස්ලිම් වරුය. ආදාහන් උත්සවය සහභාගීවූවන්ට දිවා ආහාරය හෙම්මාතගම ස්ලාමීය පල්ලි එකමුතුවෙන් සැපයිණි.

ලංකාව යලිත් ලේවිලක් බවට පත් නොවීමටනම්, මෙරට නොකැඩී නොබෙදී ‍පැවතීමටනම් රටට අවශ්‍ය ජනතාව කොටවන හනුමන්තලා නොව. රථනජෝති හිමියන් වැනි කරුනාව මෛත්‍රිය පතුරවන භික්ෂූන්වහන්සේලාය. හනුමන්තලාගේ පන්දම් පාලිය නිසා මෙරටේ ආගමික ගැ‍ටුමක් හටගතහොත් ඊට වන්දිගෙවන්නට වන්නේ ඔවුන්ට හෝ ඔවුන්ට සිත්සේ අකටයුතු කම් කිරීමට ඉඩදී ඉවත බලා සිටින පාලකයින්ට නොවේ. මේ රටේ සාමාන්‍ය ජනතාවටය.

එවැනි ගැට්මුකාරී තත්වයක් හටගතහොත් මැදපෙරදිග සේවය කරන ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කවුද? ඔවුන්ට රැකියා අත්හැර දමා යලි මව්රටට පැමිණීමට සිදුව වුවහොත් ඔවුන්ගේ ජීවිකාව සලසන්නේ කවුද? අල්කයිඩා වැනි සංවිධාන ලංකාව හා ලාංකිකයින් ඉලක්ක කළ හොත් ඔවුන්ට රැකවරණය සපයන්නේ කවුද?

අතලොස්සකගේ බල ලෝභය, තන්හාව, අවස්ථාවද හා අගතිගාමීත්වය නිසා හටගත් යුද්ධයෙන් වැඩිමනක් දුක්වින්දේ මෙරට දෙමළ, සිංහල, මුස්ලිම් සාමාන්‍ය ජනතාවයි. හනුමන්තලා ආගමික යුද්ධයක් ඇවිලවුවහොත් එහි බරද දරන්නට වනුයේ මෙරට සාමාන්‍ය ජනතාවටය. මේ අලුත්ම හමුනා වන්නමට කිසිඳු ඉඩකඩක් නොතැබිය යුත්තේ එබැවිනි.

No comments:

Post a Comment

Post Bottom Ad