කැසිනෝ රජුට ආණ්ඩුවෙන් සහතිකයක් ලැබෙයි ! - GOSSIP9.WORLD

Post Top Ad

කැසිනෝ රජුට ආණ්ඩුවෙන් සහතිකයක් ලැබෙයි !

Share This
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද ක්‍රමෝපාය සංවර්ධන පනතේ නියෝගවල කැසිනෝ යන්න සදහන් නොවන නමුත්, ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ලෙස හැදින්වෙන ජේම්ස් පැකර්ගේ සුපිරි හෝටල් ව්‍යාපෘතිය තුළ කැසිනෝ පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවට රජය විසින් අදාළ ආයෝජකයාට පැහැදිලි සහතිකයක් ලබා දී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ පනතට කැසිනෝ පිහිටුවීම යන්න පැහැදිලිව ඇතුළත් නොකරන්නේ නම් තමන් ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට ගත් තීරණය අවලංගු කරන බව,අදාළ ගැසට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම ජේම්ස් පැකර් තමන්ගේ නියෝජිතයකු හරහා ආණ්ඩුවට දැනුම් දුන් බව වාර්තා විය.

අදාළ හෝටල් ව්‍යාපෘතියට කැසිනෝ ද ඇතුළත් වන අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට අධික දැවැන්ත මුදලක් ඒ සඳහා ආයෝජනයක් කිරීමට ජේම්ස් පැකර් මෙරට ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ පසුගිය සැප්තැම්බර් මාසයේ ගිවිසුමක් අත්සන් කර තිබිණි.

මෙම ව්‍යාපෘතියට අදාළ ගැසට් නිවේදන, කැබිනට් මණ්ඩලය අනුමත කිරීමෙන් පසු 2013සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නමුත්, විපක්ෂයෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් ඒවා සම්මත නොකර ඉවත් කර ගැනිණි.

මේ වතාවේ එම ගැසට් නිවේදනම, සූදු හා ඔට්ටු ඇල්ලීම යන වචන වෙනුවට අනුසාංගික පහසුකම් යොදා ඉදිරිපත් කළ අතර, මහානායක හිමිවරුන්ගේ පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ද විරෝධය නොතකා එ්වා සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.

අනුසාංගික වචනය වෙනුවට කැසිනෝ හැර යනුවෙන් යෙදීමට විපක්ෂය ගෙන ආ සංශෝධනය පිළිගැනීම රජය ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, තමන් ලංකාවට පැමිණි විගස අදාළ හෝටල් ව්‍යාපෘතියෙහි ඉදිරි කටයුතු සිදු කරන බව, ජේම්ස් පැකර්ගේ හෝටල් ව්‍යාපෘතියේ මෙරට පාර්ශ්වකරු වන ව්‍යාපාරික රවි විජේරත්න, ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙත ප්‍රකාශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට ජේම්ස් පැකර් හා රවී විජේරත්න දෙපොළ විසින් පිහිටුවා තිබෙන ව්‍යාපෘති සමාගම ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ලෙස නම්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad