තවත් සැකකරුවකුට පොලිසියෙන් මරණ දඩුවම - GOSSIP9.WORLD

Post Top Ad

තවත් සැකකරුවකුට පොලිසියෙන් මරණ දඩුවම

Share This
පොලිසිය භාරයේ සිටි තවත් සැකකරුවකු ඊයේ (11) උදෑසන රත්නපුරයේ සාමාන්‍ය ජනයා නොගැවසෙන ප්‍රදේශයකදී වෙඩි තබා ඝාතනය කළ පොලිසිය, සවස මාධ්‍ය හමුවක් කැදවමින් වසර ගණනාවක් තිස්සේ වාදනය කළ පැරණි තැටියම වාදනය කළේය.

මෙලෙස ඝාතනය කර ඇත්තේ අරුමගමගේ සුගත් චමින්ද නැමති 32 හැවිරිදි සැකකරුවෙකි. ඔහු පාලංකඩ හීන් මල්ලි, පාලංකඩ හීනා යන නම්වලින්ද හැදින්වෙන බවත්, මිනීමැරුම් 11ක් ඇතුළු විවිධ අපරාධ 36කට ඔහු සම්බන්ධ බවත්, ඔහු අපරාධ කරන්නට පටන්ගෙන ඇත්තේ අවුරුදු 16සිට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මස 13 වන දින රාත‍්‍රියේ රත්නපුර – හිඳල්ලන ප‍්‍රදේශයේ නිවස ඉදිරිපිට දී, සුමිත් ගුණසේකර නම් මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද මේ පුද්ගලයා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අන්දමට සැකකරුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, උදෑසන 7.50ට රත්නපුර- මහවලවත්ත නම් කැලෑබද ප්‍රදේශයකදීය.

ඝාතනයට හේතු දක්වමින් සුපුරුදු පිටපතම, ස්ථාන නාම ආදිය යාවත්කාලීන කොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ඉදිරිපත් කළේය:

" මොහුගේ ප්‍රකාශයක් අද දින අළුයම් කාලයේදී රත්නපුර පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් සටහන් කරනු ලැබුවා. එම ප්‍රකාශයෙන් අනාවරණය වුණා අදාළ මැණික් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා උපයෝගී කරගත් ගිණි අවිය රත්නපුර ප්‍රදේශයේ මහවලවත්ත ප්‍රදේශයේ එක්තරා ස්ථානයක සගවා ඇති බවට. 

උදෑසන 7.50ට පමණ ඒ කැලෑබද ප්‍රදේශයේ ගමන්කරමින් සිටින අවස්ථාවේදී එක් වරම, සගවා තිබූ ස්ථානයකින් කැලයේ, අත්බෝම්බයක් ගෙන පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී පොලිසිය ආත්මාරක්ෂාව සදහා කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු රත්නපුර මහ රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ මියගොස් තිබෙනවා "

අපරාධකරුවන් සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මියයාමේ සිද්ධීන් සුලබවීම පිළිබඳව මාධ්‍යවේදියකු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර, එහිදී ඔහු කියා සිටියේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පොලීසිය එසේ කටයුතු කරන බවයි. එහි සාධාරණ අසාධාරණ භාවය අධිකරණය විනිශ්චය කරනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සිද්ධියේ සාධාරණ අසාධාරණභාවය තීරණය කිරීමේ වගකීම පැවරෙන, රත්නපුර මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර, එහි තිබී තවත් අත් බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad