ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකරන්නේ ඇයි ? - ජයන්ත බණ්ඩාර - GOSSIP9.WORLD

Post Top Ad

ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකරන්නේ ඇයි ? - ජයන්ත බණ්ඩාර

Share This
ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරය කර ඇති ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකිරීම තුළින් බරපතල සැකයක් පවතින බවත් ආණ්ඩුව වහා එය ජනතාවට හෙළිකළ යුතු බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කළ යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැතිවීම තුළින් මෙම පනත සැකයකට ලක්වීම සාධාරණ බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් අද (16) දින පුංචි බොරැල්ලේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

" ශ්‍රී ලංකාවට ඖෂධ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි ? ඉතිහාසයේ කවර කාලයකදී හෝ වාර්තා නොවූ ආකාරයට දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා, වකූගඩු රෝගය වැනි කල්පවතින රෝග මෙන්ම ඩෙංගු, විෂවීම්, අනතුරු ඇතුලු රෝගාබාධ රැසක් වසංගත මට්ටමින් පැතිර යමින් තිබේ. ඒවා මැඩපැවැත්වීමට විධිමත් රෝග නිවාරණ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් මහජනතාව ලක්ෂ ගණනින් රෝගී වන වටපිටාවක ප‍්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මත යැපීමට සිදුව තිබේ.

අද වනවිට ඖෂධ අවශ්‍යතාවෙන් 80%ක් සපුරා ගන්නේ පෞද්ගලික ආනයනයෙනි. දැනට ඖෂධ මිළ තීරණය කරන්නේ ඖෂධ නිපදවීම, බෙදාහැරීම සහ වෙළඳාමේ නිරතවන සමාගම් සහ ව්‍යාපාර විසිනි. ආණ්ඩුවේ බලධාරින්  පිලිගන්නා ආකාරයට ඖෂධ සඳහා 200% සිට 800% දක්වා වූ ලාභයක් ඖෂධ ව්‍යාපාරය විසින් උපයා ගනී. 2010 වසරේදී රුපියල් බිලියන 24.5ක් වූ ඖෂධ ආනයන වියදම ඊට දෙවසරකට පසු 2012 දී රුපියල් බිලියන 47.5ක් දක්වා දෙගුණයකින් පමණ ඉහළ යාමෙන් පැහැදිලි වන්නේ ඖෂධ ආනයනය සඳහා අප රටේ මහජනතාව දරන වියදමේ වැඩිවීමයි.


සෞඛ්‍ය සඳහා රජය දරන වියදම දල දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ ප‍්‍රථිපලයක් ලෙස අවශ්‍යතාවයේ තරමට රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකෙරෙන බැවින් මහජනතාවට පෞද්ගලිකව ඖෂධ මිළදී ගැනීමට සිදුවේ.


ආනයනික ඖෂධ වලින් 80-90%ක් පමණ ගෙන්වන්නේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සඳහා ලෝක ප‍්‍රසිද්ධ අසල්වැසි රටවලිනි. භාවිතා කරන අතරතුර ප‍්‍රමිතියෙන් තොර බවට සොයාගෙන භාවිතයෙන් ඉවත් කර ගන්නා ඖෂධ වර්ග (drugs recall) සංඛ්‍යව  ඕස්ටේ‍්‍රලියාව වැනි රටක පසුගිය අවුරුදු තුනටම 6ක් පමණ වනවිට ශ්‍රී ලංකාවේ එක් මාසයකට 6 සිට 18 දක්වා ඉතාමත් ඉහළ අගයක පැවතීමෙන් පෙන්නුම් කරන්නේ ඖෂධ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන බරපතල තත්ත්වයයි. මෙවැනි ඖෂධ අතර හිදිසි අවස්ථාවල භාවිතා කරන ජීවිතාරක්ෂක ඖෂධ, ප‍්‍රබල ප‍්‍රතිජීවක, මානසික ආබාධයන්ට දෙන ඖෂධ සහ නිර්වින්දනය සඳහා භාවිතා කරන ඖෂධද ඇතුලත් වේ.


අධික මිළ, හිඟය, අත්තනෝමතික භාවිතය සහ ප‍්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ඖෂධවලින් ප‍්‍රජාවට ලැබිය යුතු ප‍්‍රයෝජනය අහිමි වේ. මෙම තත්ත්වය හේතුවෙන් දිනපතා මිනිස් ජීවිතවලට සිදුවන හානිය (human cost) කොපමන විය හැකිද? ඖෂධ සම්බන්ධයෙන් පවතින මෙම අර්බුදයෙන් ආරක්ෂාවීමට රෝගාබාධයකදී මුදල් යහමින් වියදම් කිරීමේ සහ විදෙස් ගත වීමේ හැකියාව ඇති ඉහළ දේශපාලනඥයින්ට සහ ප‍්‍රමුඛ පෙලේ ව්‍යපාරිකයින්ට හැර වෛද්‍යවරුන්, පහළ මට්ටමේ දේශපාලනඥයින් ඇතුළු කිසිදු පුද්ගලයකුට නොහැක. හදිසි අවස්ථාවක භාවිතාවන ඖෂධවල ප‍්‍රමිතිය බාල වීමෙන් හෝ හිඟ වීමෙන් ඇතිවන අනතුරට මෙරට තුල ස්ථිරව හෝ තාවකාලිකව රැඳි සිටින කුඩා දරුවන් ඇතුළු ඕනෑම තරාතිරමක පුද්ගලයකුට මුහුණ දීමට සිදුවේ. ඒ හදිසියකදී හොඳ ඖෂධ සෙවීමට හෝ විදෙස් ගත වීමට හෝ කාලයක් ඉතිරි නොවන බැවිනි.


ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ලෝකයේ පවතින තත්ත්වය ගත්විට මානව ප‍්‍රජාවේ සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භවූ ඖෂධ කර්මාන්තය ගෝලීය ලිබරල් ආර්ථික ක‍්‍රමය තුල බහුජාතික සමාගම් සහ ඒවා ආරක්ෂාකරන රාජ්‍යයන් හි ඒකාධිකාරි ග‍්‍රහණයට නතුවීමෙන් ඇතිවන අනතුරෙන් ජනතාව ආරක්ෂා කිරීම පිණිස රටවල් රාශියක් ඖෂධ ප‍්‍රතිපත්ති සකස් කරගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට එම සංඛ්‍යව 2007වන විට රටවල් 130ක්  පමණ විය. අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශයද මේ අතර වේ මේ ආකාරයට විවිධ රටවල් ජාතික ඖෂධ ප‍්‍රතිපත්්ති ඇතුළු ආරක්ෂක උපක‍්‍රම තරකරද්දී එවැනි ප‍්‍රතිපත්තියක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටවල සිය වෙළඳාම් වැඩි කිරීමට ඖෂධ සමාගම් වඩාත් උත්සුක වන ආකාරය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කල හැක. "

ඖෂධ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්විට...

1. 1971දී එවක පැවති ආර්ථිකයට දරා ගැනීමට නොහැකි ලෙස බහුජාතික සමාගම් විසින් ඖෂධ මිළ ඉහල දමා තිබූ අතර රටේ ඖෂධ බලාධිකාරිය ඖෂධ සමාගම් විසින් අත්පත්කර ගෙන තිබුනි. ඒ අතර එවක රජයට උග‍්‍ර විදෙස් විනිමය අර්බුධයකට මුහුණ දීමට සිදුවූ අතර මේ ගැටළු සියල්ලට පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රගතිශීලී විද්වතකු වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සහාය ඉල්ලා සිටියේය.

ඖෂධ මිළ පාලනය, දේශීය ඖෂධ නිශ්පාදනය, ඖෂධ  ප‍්‍රසම්පාදනය, ප‍්‍රමිති පාලනය යන සියල්ල ආවරණය වනසේ යෝජනාවලියක් සකස් කර ඔහුගේ ප‍්‍රධානත්වයෙන් වහාම ක‍්‍රියාත්මක තලයට ගෙන එන ලදී. අද දක්වා පවතින ඖෂධ සංස්ථාව, ඖෂධ නිශ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරය ආරම්භ වූයේ එහි ප‍්‍රතිපලයක් ලෙසය.

2. 1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඖෂධ ප‍්‍රතිපත්තිය අත්හැරි අතර පසුව ඖෂධ මිළ පාලනයද ලිබරල් ආර්ථික ප‍්‍රතිප්ති ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවෘත වෙළඳපලට භාරදුනි.

3. 2005 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නඟන බවට සඳහන් කර ඇත.

4. 2006 වසරේදී National Medicinal Drug Policy නමින් ප‍්‍රකාශනයක් එළි දැක්වූනි. මහාචාර්ය සේනක බිබිලේ මහතා පෙන්වා දුන්නේ ඖෂධ පිළිබඳ සියළු වගකීම් රජය මගින් දැරිය යුතු බවට වුවද මෙම ප‍්‍රතිපත්තියේ දක්වා ඇත්තේ එය රජය සහ පෞද්ගලික දෙඅංශයේ් වගකීමක් බවය. එම ලියවිල්ල සමග කිසිදු ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් ඉදිරිපත්වූයේ නැත.

5. 2010 වසරේ ප‍්‍රකාශිත මහින්ද චින්තන ඉදිරි දැක්ම ප‍්‍රකාශනයෙන්ද ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන බවත් ඖෂධීය නාමයෙන් පමණක් ඖෂධ නියම කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කර ඇත.

6. 2011 දී ආණ්ඩුව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් පවසා සිටියේ ඖෂධ ප‍්‍රතිපත්තියකට අදාල පනත් කෙටුම්පතක් සැකසූ බවත් එය නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ වරදින් අස්ථාන ගතවී ඇති බවත්ය. එහෙත් එම අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවක් දැන ගන්නට නැත.

7. 2012 දෙසැම්බර් 05වන දින පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අංක 1787/22 දරණ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් ඖෂධ ඇසුරුමේ උපරිම සිල්ලර මිළ ලකුණු කිරීමට පියවර ගන්නා බව පැවසීය. ඒ සඳහා අද මෙන් පුළුල් මාධ්‍ය ප‍්‍රචාරයක් ලබා දුනි.

8. ඖෂධ මිළ පාලනය පියවර ගන්නා බවට අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා 2014.03.12 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශකල අතර එවැනිම ප‍්‍රකාශයක් 2013 ජනවාරි මාසයේදී ඉහත ගැසට් නිවේදනයට අදාලව පැවති මාධ්‍ය  සාකච්ඡුාවේදීද ප‍්‍රකාශ කලේය.

පාර්ශව ගණනාවකින් එල්ලවන බලපෑම් හමුවේ ආණ්ඩුවේ බලධාරින් මාධ්‍ය හරහා පොරොන්දු දීම්, සමාවට කාරණා ඉදිරිපත් කිරීම්, ඖෂධ සමාගම්වලට බැනවැදීම් සහ ගැසට් නිවේදන නිකුත් කිරීම කාලයක් පුරා සිදුකලද බිම් මට්ටමේ ඵලදායී කිසිවක් ක‍්‍රියාත්මක වූයේ නැත.

දැනට තිබෙන නීතිරිති සහ ආයතන ව්‍යූහයන් කාර්යක්ෂමව යොදා ගැනීමෙන් වුවද ඖෂධ අත්තනෝමතික භාවිතය නතර කිරීම, ප‍්‍රමිතිය පාලනය, ඖෂධ හිඟය මැඩපැවැත්වීම සහ මිළ පාලනය සඳහා ඵලදායී පියවර රැුසක් ගත හැකි වුවද එවැනි උත්සාහයක් පෙනෙන්නට නැත.

ඒ අනුව ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරයක් දියත් කර ඇති පනත සම්බන්ධයෙන්ද පවතින්නේ සාධාරන සැකයකි. ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කල යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැත. පනත මහජන අදහස් සඳහා ඉදිරිපත්කර නැත.

එබැවින් ජනතාවාදී දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන ඇතුලූ සියලූ පාර්ශව මේ පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතු බව අවධාරණය කරමු.

මෙම මාධ්‍ය හමුව සඳහා වෛද්‍ය සුනිල් ආර් ජයකොඩි, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ඩී. ජයලාල් සමස්ත ලංකා හෙද සංගමයේ සංවිධායක ලේකම් එස්. පී. මැදිවත්ත යන මහත්වරුන්ද සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad