ඉඩම් හා පවුල් ආරවුලක් නිසා බිරියව හා දුවව මැරු සැමියා - GOSSIP9.WORLD

Post Top Ad

ඉඩම් හා පවුල් ආරවුලක් නිසා බිරියව හා දුවව මැරු සැමියා

Share This
ඉඩම් හා පවුල් ආරවුලක් මත කිපුණු පුද්ගලයකු තම බිරියටත් තුන් හැවිරිදි දියණියටත් පිහියකින් ඇන පදිංචි නිවෙසටත් ගිනි තැබීමෙන් සිවුදෙනෙක් පිලිස්සී මියගොස් සිටිති.

මියගිය සිවුදෙනා අතර නිවෙසට ගිනි තැබූ ගෙහිමියාද වෙති. මේ මහා ඛේදවාචකය සිදුව තිබෙන්නේ කතරගම කඳසුරිඳුගම 2 වැනි පෙළට අයත් අංක 66 දරන නිවෙසේදීය. ගින්නට පිලිස්සීමෙන් තුවාල ලැබූ දෙදෙනකු හම්බන්තොට රෝහලට ඇතුළත් කොට තිබේ.

මියගොස් ඇත්තේ ගෙහිමියා වන ඒකනායක මුදියන්සේලාගේ චන්ද්‍රකීර්ති සුරවීර (29) ඔහුගේ බිරිය වන සමර ජුලිගේ සබීතා (33) බිරියගේ මව වන හේවාරත්න ජුලිගේ ලීලාවතී (67) සහ දියණිය වන රන්දිමා (3) යන අයයි. පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකරනු ලැබ සිටින්නේ මියගිය බිරියගේ පියාවන හැත්තෑහත් හැවිරිදි කරෝලිස් මහතා සහ ආබාධිත තත්ත්වයකින් පසුවූ දර්ශනී (32) නමැත්තියයි.

9දා රාත්‍රි 8.30ට පමණ ගෙහිමියා වන චන්ද්‍රකීර්ති සුරවීර නමැත්තා බීමතින් යතුරුපැදියකින් නිවෙසට පැමිණ සිය බිරිය වන සමර ජුලිගේ සබීතා (33) නමැත්තියට පිහියකින් ඇන පෙට්රල් දමා ගිනි තබා ඇත. අවුරුදු 3 වයසේ පසුවූ දියණියට ද මොහු විසින් පිහියෙන් ඇන තුවාල සිදුකර ඇති අතර පසුව නිවෙසට ගිනි තබා ඇත. ගින්නට හසුවීමෙන් බිරියගේ මව වන හේවා ලීලාවතී (67) මහත්මිය පිලිස්සී මියගොස් ඇති අතර ඝාතකයා ලෙස සැකකරනු ලබන චන්ද්‍රකීර්ති සුරවීර සිය නිවෙසේ දී ගින්නට හසුවී මියගොස් තිබේ.

පිහිපාරක් ඇනීමත් දරුණු ලෙස පිලිස්සීම්වලටත් ලක්වූ බිරිය සබීතා කතරගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත. සිද්ධිය ඇසින් දුටු අසල්වැසියකු වන නිමල් වනිගරත්න මහතා මෙසේ පැවැසීය. මම රාත්‍රි ටීවී බලබලා ඉන්න කොට මහා හයියෙන් ගෑනු අයකු කෑගහනවා ඇහුණා. බේරාගන්න කියලා. 

මම ඒ පැත්තට යනකොට මම දැක්කා සබීතා නංගි ගිනි ගොඩක හිටියා. එයා බිමදිගාවී ගිනි නිවාගත්තා. මම යනකොට අනේ නිමල් අයියේ මාව බේරාගන්න කියලා උදවු ඉල්ලුවා. ඒ සමඟ මම දැක්කා ගේ ඇතුළෙන් මහා ගින්නක් නඟිනවා. මම අහල පහළ අයට කෑගහලා කිව්වා ගින්න නිවන්න කියලා.

මම යනවිටත් සබිතා නංගි ලේ ගලමින් හිටියා. අනේ අයියේ මට කීර්ති පිහියෙන් ඇන්නා කියලා කිව්වා. මම ඉක්මනට තුවාල වූ දරුවයි අම්මාවයි ඉස්පිරිතාලෙට අරන් ගියා. ඊට පස්සේ ආබාධිතව සිටි ගැහැනු අයකුයි. පිරිමි වැඩිහිටියකුයි රෝහලට අරන් ආවා. 

මේ සිද්ධිය 9 වැනි දින රාත්‍රි 9.30ට පමණ සිදුවී ඇති අතර ඝාතනය සිදුකළ චන්ද්‍රකීර්ති සුරවීර නමැත්තා දහවල් සිට බීමත්ව සිට ඇත. කතරගම ඉන්ධන හලකින් පෙට්රල් ද ලබාගෙන ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම නිවෙසේ සිටි බිරියගේ පියාගෙන් හා ආබාධිතව සිටියදී ගින්නෙන් තුවාල ලබා දැනට රෝහල්ගත කර සිටින තැනැත්තියගෙන් හා දරුණු ලෙස කැපුම් තුවාල හා පිලිස්සීම් තුවාල ලබා මිය ගිය සබිතා (33) මහත්මිය විසින් මියයෑමට පෙර පවසා ඇති සාක්ෂි ඇතුළුව සාක්ෂි පහක් පොලිසිය සතුව ඇති බව කතරගම පොලිස් ස්ථානාධිපති ලක්සිරි චන්දිමාල් මහතා පවසයි.

දරුණු ලෙස තුවාල ලබා සිටි (3) හැවිරිදි රන්දිමා දැරිය හම්බන්තොට රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කරනු ලැබූ අතර පසුව ඇයද මියගොස් ඇත.
මේ මරණ පරීක්ෂණය තිස්සමහාරාම මහෙස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පැවැත්වූ අතර මළ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ගැනීමට යොමු කර රස පරීක්ෂණ වාර්තාවක්ද ලබා ගැනීමට පොලිසියට නියෝග කළේය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ එම නිවෙසේ සිටින බිරියගේ මව සහ සහෝදරිය තරමක ආබාධිත තත්ත්වයෙන් පසුවන හෙයින් ඔවුන් නිවෙසේ තනිකර බිරිය සහ දුවණිය වෙනත් නිවෙසක පදිංචියට යෑමට නිවෙස් හිමියා කලක සිට තර්ජනය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.

පෙරේදා රාත්‍රි බීමත්ව නිවෙසට පැමිණි ගෙහිමියා බිරිය සමඟ යළි ආරවුල් ඇති කරගෙන ඇයට පිහියෙන් ඇන නිවෙසට ගිනි තැබූ අවස්ථාවේ සැකකරුගේද ඇඳිවතට ගිනි ඇවිළී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳහා පොලිස් විද්‍යාත්මක පර්යේෂණ අංශද කැඳවා තිබිණි. කතරගම ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිරකුමාර මහතාගේ උපදෙස් මත කතරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Post Bottom Ad