දැරිය මියගිය පසු ළමාරක්ෂක අධිකාරිය අවදි වෙයි - GOSSIP9.WORLD

Post Top Ad

දැරිය මියගිය පසු ළමාරක්ෂක අධිකාරිය අවදි වෙයි

Share This
පසුගියදා දිවි නසාගත් දැරියට ප්‍රසිද්ධියේ පහත් වචනවලින් බැණ වැදුණු කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව මීට පෙර ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබුණු නමුත් ඒ පිළිබදව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බව හෙළිවී තිබේ.

" එම විදුහල්පතිවරයාට එරෙහිව මීට පෙරද පැමිණිලි රැසක් ඉදිරිපත්ව තිබූ නමුදු පාසල් පද්ධතියේ ප්‍රශ්නවලට එක් වරම ඇගිලි ගැසීම නුසුදුසු බැවින් එම පැමිණිලි පිළිබදව සොයා බැලීමට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැවරූ බවත් " ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය ලක්බිම පුවත්පතට පවසා ඇත.

" මෙතෙක් ඒ ගැන කිසිවක් ඔහු කරලා නැහැ. දැන් ළමයෙකුත් මිය ගිහින් තියෙනවා. අපි තවත් බලා හිටියොත් තව මොනවායින් මොනවා වේවිද දන්නේ නැහැ. " යි ඇය වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වුවද දැරියගේ දිවි නසාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයට තමන් දැනුම් දුන් බවත්, ඊයේ (17) එම විමර්ශනය ආරම්භ කෙරුණු බවත් ඇය ප්‍රකාශ කරයි.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 308 “අ” වගන්තිය ප්‍රකාරව ‘ළමුන් කෲරත්වයට පත්කිරීමට’ මානසික ව්‍යාකූලත්වයද අයත් බව සඳහන්ව ඇති බැවින් හා 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ පනතේ සංශෝධනයෙන් මානසික හානි අපරාධ නීතියට ඇතුළත් කර තිබෙන බැවින් විදුහල්පතිවරයා ඉතා පහත් වචනවලින් සිසුවියට බැණ වැදීම කෲරත්වයට පත්කිරීමක් සේ සලකා නීතිමය කටයුතු කළ හැකි ය.

මේ වන විට සිසුවිය ජීවතුන් අතර නොමැති බැවින් ඇය මිය යන්නට පෙර ඇගේ අත් අකුරින්ම ලියන ලද ලිපියෙහි ඇය සියදිවි හානිකර ගැනීමට මුල් වූ කාරණාව විදුහල්පතිවරයා තමන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම බව පැහැදිලිවම සටහන් කර තිබෙන බැවින් එය ඇගේ මරණාසන්න ප්‍රකාශයක් සේ සලකා කටයුතු කළ හැකි බව ‘උසස් ‍පොලිස් නිලධාරියෙකු’ උපුටා දක්වමින් ලක්බිම පුවත් වාර්තාව පෙන්වා දෙයි.

1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ විධිවිධානවලට අනුව කෲරත්වයට පත්කිරීමට වරදකරුවන් වන පුද්ගලයකු වසර 10ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් කළ හැකි බවද එම මූලාශ්‍රය සදහන් කරයි.

මේ අතර දැරියගේ දිවි නසාගැනීමේ සිද්ධිය පිළිබදව වයඹ පළාතේ මහ ඇමතිවරයාගේ නියෝගය මත පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් දෙමාපියන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව මහඇමති දයාසිරි ජයසේකර ප්‍රසිද්ධ රැස්වීමකදී පවසා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad