[DEHI NEWS] රජාට කිරි - ගමට කැකිරි ; මැතිසබේ ගාලගෝට්ටි ! - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] රජාට කිරි - ගමට කැකිරි ; මැතිසබේ ගාලගෝට්ටි !

Share This
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාව තුළ දි ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ඔසවා ගෙන කෑ කෝ ගසමින් විරෝධතාවයේ නිරත විම නිසා පාර්ලිමේන්තු කටයුතු ලබන 18 දා දක්වා කල් තැබිමට නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදි අද (07) තීරණය කළේය.

වැඩි කළ විදුලි බිල අඩු කරනු ", " නොරොච්චෝ‍ලේ දින 28 ක් වැසේ " , " රජාට කිරි ගමට කැකිරි " යනාදි සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු ඔසවා ගනිමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාව මැදින් මුලාසනය අසලට පැමිණ ඝෝෂා කරන්නට වූහ.

සභාවේ කටයුතු මෙම හේතුව මත විනාඩි හතලිස් පහක පමණ කාලයකට පමණක් සිමා විණ. මුලාසනයේ සිටි නියෝජ්‍ය කාතානායකවරයා විසින් සභාවේ කටයුතු කල් තැබුව ද සභා ගැබෙහි රැදි සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු තමන් අත රැදි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් තවත් විනාඩි 10 ක පමණ කාලයක් ඝෝෂාකාරි ලෙස හැසිරුණි.

නොරොච්චෝ‍ලේ විදුලි බලාගාරය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ මන්තී රවි කරුණානායක මහතා විසින් ගෙන ඒමට නියමිතව තිබු සභාව කල් තැබිමේ යෝජනාවද සභාව කල් තැබිම නිසා ඉදිරිපත් කිරිමට නොහැකි විණ.

සබා ගැබෙහි සිට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මෙසේ විරෝධතාවයේ නිරත වෙද්දි එම අවස්ථාවේ සභාවේ රැදි සිටි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඊට එක් වූයේ නැත.

වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරිමෙන් පසු සබාවේ කටයුතු ඊයේ පස්වරු 1.30 ට ආරම්භ වූ අතර දිනට නියමිත ලිපි ‍ලේඛනාදිය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයින. සභාව කල් තබා සභාව කල් තැබිමේ යෝජනාව ඉදිරිපත් කරනා ලෙස මුලාසනය රවි කරුණානායක මහතාගේ නම කියමින් දැනුම් දුන් අවස්ථාවේ සිය මේස යට සඟවාගෙන සිටි විරෝධතා පුවරු රැගත් මන්ත්‍රීවරු ඒවා ප්‍රදර්ශනය කරන්නට වූහ.

මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විරෝධතා පුවරු රැගෙන මුලාසනය දෙසට එන්නට වූ අතර “ සභාවේ ගෞරවය ආරක්ෂා කරන්නැයි නියෝජ්‍ය කාතානායකවරයා ඔවුන්ට කිහිප වරක් දැන්විය. සභාව කල් තැබිමේ යෝජනාව ඉදිරිපත් කරන්නැයි නියෝජ්‍ය නායකවරයා අවස්ථා කිහිපයක්ම ප්‍රකාශ කළ මුත් රවි කරුණානායක මහතා විරෝධතා පුවරුවක් ගෙන විරෝධතාවයේ නිරත වූවා විනා කල් තැබිම ඉදිරිපත් කළේ නැත.

ඒ අනුව ලබන 18 දා දක්වා සභාවේ කටයුතු කල් තැබු නියෝජ්‍ය කතානායකවරයා මුලසුනෙන් නැගිට සභාවෙන් පිටව ගියේය. නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය රැගෙන සභාවෙන් පිටව ගිය අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුද නික්ම ගියහ.

ඉන් පසුවද එ.ජා.ප මන්ත්‍රීවරු විරෝධතාව පුවරු ප්‍රදර්ශනය කරමින් ඡයාරූප ගන්නට වූහ. රෝසි සේනානායක, චන්ද්‍රණි බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, හරින් ප්‍රනාන්දු, රවි කරුණානායකථ සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු විරෝධතාවයේ නිරතවූහ.

සභාවේ කටයුතු 2.45 ට කල් තැබු නමුදු මන්ත්‍රීවරු 2.55 පමණ වන තුරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටියහ.



No comments:

Post a Comment

Post Bottom Ad