නාම යෝජනා නොලැබීම මට සතුටක් - ශිරාල් - GOSSIP9.WORLD

Post Top Ad

නාම යෝජනා නොලැබීම මට සතුටක් - ශිරාල්

Share This
පළාත් සභා මැතිවරණය එළඹීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද රැසක් ඉස්මතු විය. ඒ පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමග Gossip9 සිදුකළ සාකච්ඡාවකි.

මෙවර එජාපයෙන් නාමයෝජනා නොලැබිම ගැන ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?

මට නං ඒ පිළිබඳ තිබෙන්නේ බොහොම නිදහස් අදහසක්. මම දේශපාලනිකවත්, පුද්ගලයෙක් හැටියටත් මට නාමයෝජනා නොලැබිම හොඳ යැයි සිතනවා. දේශපාලනිකව බැලුවොත් අපි යම්කිසි ප්‍රතිපත්තියක ඉඳ කටයුතු කරන අය. අපේ පක්ෂය ප්‍රතිසංවිධානය විය යුතුය යන ස්ථාවරයයි එම ප්‍රතිපත්තිය. අපි මැතිවරණයට තරග කළා නම් නිසැකවම යම් ඡන්ද ප්‍රමාණයක් පක්ෂයට ගේනවා. එලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෙන ඒම තුළ සිදුවිය හැකිව තිබුණේ එම ප්‍රතිසංවිධාන වෙනස් නොවී කල්යාම පමණයි. ඉතින් එවැනි තත්ත්වයක් ඇති නොවීම ගැන යම්කිසි සතුටක් මට තිබෙනවා.

ඔබ පවසන සතුටෙන් අහෝසි වන්නේ පක්ෂයේ ඡන්ද පදනම නොවේද?

ඇත්තටම ඔව්. නමුත් ඒක අපේ වරදක් ලෙස දකින්න එපා. අපි පක්ෂයට හෝ ජනතාවට වරදක් කරලා නැහැ. අපි හැමදාම කළේ මේ පක්ෂය ජයග්‍රාහී ලෙස ගොඩනැගීමයි. අපි ඡන්දය ඉල්ලුවම නම් අපේ ඡන්ද මෙන්ම සරත් ෆොන්සේකාට යන ඡන්දත් අපිට ලබා ගැනීමට හැකියාව තිබුණා. මම මන්ත්‍රී කෙනෙක් වෙන්න තිබුණා. නමුත් එසේ නොවීම දේශපාලනමය වශයෙන් යහපත් දෙයක් ලෙස මම දකිනවා. අපිට නාමයෝජනා නොලැබිම නිසා පක්ෂයට යම් අලාභයක් සිදු වෙනවා. ඒවා මෙවර ඡන්ද ප්‍රතිඵලවලින් හොඳට පෙනෙයි. ඊට වගකිව යුත්තේ අපි නම් නොවෙයි. අපිට නාමයෝජනා ලබා නොදීම නායකත්වය විසින් සැලකුවේ ඒ අයගේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමක් ලෙසයි. උදාහරණයකට අපි මනාප ලැයිස්තුවේ ඉහළ ස්ථානයකට පැමිණියා නම් එය නායකත්වයට කරන අභියෝගයක් වෙනවා. ඒක වළක්වන්නත් ඔවුන්ට අවශ්‍යතාවක් තිබුණා. දෙවනුව ඔවුන් සිතුවේ අපිට දඬුවම් කළ යුතු බවයි. “ඇහැට ඇහැක්” කියන රෝම කියමන අනුව ඒ අය කටයුතු කළා. ඉතින් කොහොම වුණත් මට පෞද්ගලික වාසියකුත් තිබෙනවා. ඡන්දය ඉල්ලුවා නම් මගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය වෙනවා. ඒක ඉතිරි වීම මට ලොකු දෙයක්.

ඔබත් මෛත්‍රී ගුණරත්නත් නාමයෝජනා බලා‍පොරොත්තු වුණේ රනිල් වික්‍රමසිංහ සමග එකම ගමනක් යාමටද? නැතිනම් වෙනත් ගමනක් යාමටද?

අපි නාමයෝජනා ඉල්ලා සිටියේ පදනම් දෙකක් නිසයි. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස අපට නාමයෝජනා ලබා දිය යුතුව තිබෙන අතර නාමයෝජනා ලබා ගැනීමටත් අපට අයිතියක් තිබෙනවා. ඒක පළමු කාරණය. දෙවැනි කාරණය වන්නේ පක්ෂ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඇතුළු වූ පුද්ගලයින් අතරින් මේ අයිතිය නොලැබෙනවා නම් ඒ මටත් මෛත්‍රී ගුණරත්න මහතාටත් පමණයි. කෙසේ නමුත් නාමයෝජනා ලබා දුන්නා නම් අපට වෙනම ගමනක් යන්න බැහැ. ඒ නිසා වෙනම ගමනක් යනවා කියන්නේ අපි විහිළුකාරයන් බවට පත්වීම පමණයි. පක්ෂය හැර දමා ගිය අයට නාමයෝජනා භාර දෙන්න පුළුවන් නම් ඇයි අපට නාමයෝජනා ලබා දෙන්න බැරි කියලා අපි විමසා සිටියා. අපි පක්ෂයට කරලා තියෙන වරද මොකක්ද කියලත් ඇහුවා. නමුත් අපි කියපු සියලුම දේවල් අඩු වැඩි වශයෙන් මේ වන විට පක්ෂය විසින් සිදු කොට තිබෙනවා. ඒ අනුව අපට නාමයෝජනා ලබාදීම ගැටලුවක් බවට පත් කර ගැනීමේ වුවමනාවක් නායකත්ව මණ්ඩලයට නොතිබිය යුතු බව මගේ විශ්වාසයයි.

ඔබ ප්‍රකාශ කරන ආකාරයට ඔබ විසින් යෝජනා කිරීමෙන් පසුව පක්ෂය ඉටු  කළ යෝජනා මොනවාද?

එවැනි දේවල් රැසක්ම උදාහරණ වශයෙන් පෙන්වා දීමට හැකියාව තිබෙනවා. නායකත්ව ප්‍රශ්නය විසඳීම සඳහා කරු ජයසූරිය මහතා මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස නායකත්වයට පත් කළ යුතු බව යෝජනා කළා. අඩුපාඩු තිබුණත් නායකත්ව මණඩලය හරහා ඒක ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේ පක්ෂය ඇතුළට ගෙන සිංහල බෞද්ධ පෙනුමක් ලබා දෙන ලෙස ප්‍රකාශ කළා. එකට ආරම්භයේ දී විරුද්ධ වුණත් පසුව අපි ගොඩනැගූ එක්සත් භික්ෂු පෙරමුණ සමග ගනුදෙනු කළා. ඒ වගේම හයිඩ්පිටියේ රැලියට සහභාගි වෙලා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පදනම් කරගෙන ‍පොදු විපක්ෂයක් සකස් කරන ලෙස ප්‍රකාශ කළා. අපි එම වේදිකාවට නැගුණු නිසා අපේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. නමුත් අද ඒක පිළිගෙන තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමියන් සමග ඒ වෙනුවෙන් එක වේදිකාවකට ගොඩ වී තිබෙනවා. ඒක ආරම්භ කළෙත් අපියි. ඉතින් ඒ විදිහට අපි කියපු ඒවා සියල්ල සිදු කරලා දැන් එහි පණිවිඩකාරයින්ට වෙඩි තියනවා. ඒ වගේ ක්‍රියාවලියක් අද සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපේ ආත්මගත පෞරුෂය ඔරොත්තු දෙන්නේ නැහැ.

නාමයෝජනා භාරදීම සඳහා එක්සත් නායකත්ව මණ්ඩලය කොන්දේසි ඉදිරිපත් කළාද?

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මට කතා කොට මුණ ගැසී නාමයෝජනා මට ලබා දෙන බවත් ඒ පිළිබඳ කිසිදු චකිතයක් ඇතිකර නොගන්නා ලෙසත් ප්‍රකාශ කළා. නමුත් අපි ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින නිසා මට නාමයෝජනා ලබා දෙනවා නම් මෛත්‍රී ගුණරත්නටත් නාමයෝජනා ලබා දෙන ලෙස මම කිව්වා. මෛත්‍රීට නාමයෝජනා නොදෙනවා නම් මටත් එපා කිව්වා. ඒ වගේම මේ සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න සමගත් සාකච්ඡා කරන ලෙස මම කිරිඇල්ල මහතාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සාකච්ඡාවක් කැඳෙව්වා. අපෙන් කොන්දේසි කිහිපයක් මත ලිපියක් ඉල්ලුවා. පක්ෂ නායකත්වය, ව්‍යවස්ථාව, නායකත්ව මණ්ඩලය පිළිගන්න සූදානම් බව අපි ප්‍රකාශ කළා. එම ලිපිය අත්සන් කොට දුන් පසුව නාමයෝජනා ලබා දෙන බවට ලිඛිතව අපට ‍පොරොන්දුවක් ලබා දෙන ලෙස අපිත් ඉල්ලා සිටියා. එහෙත් නායකත්ව මණ්ඩලය ඒක සිදු කළේ නැහැ.

පක්ෂ ප්‍රතිසංවිධාන වෙනුවෙන් ඉදිරියට ගෙන ගිය කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය ඔබ ඇතුළු පිරිස දැන් දැන් විවේචනය කරන්නේ ඇයි?

ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මම 2011දී රනිල් වික්‍රමසිංහ මහත්තයට ලිපියක් ලිව්වා. පක්ෂයේ කණ්ඩායම් දෙකක් තිබෙන නිසා එම කණ්ඩායම් දෙක එකතු කරන්න පුළුවන් අයකු ඉදිරියට ගෙන ආ යුතු බවත් ඒ ලිපියෙන් පෙන්වා දුන්නා. ඒ මධ්‍යස්ථ පුද්ගලයා කරු ජයසූරිය බවත් මම කිව්වා. රනිල් වික්‍රමසිංහ මහතා මාත් සමග විරසක වුණේ එතැන් සිටයි. මම ඒ කා‍ලේ සජිත් පි‍ලේ සිටියේ නැහැ. ඒ වන විට 17 දෙනෙක් සමග ආණ්ඩුවට ගොස් යළි තනියම පැමිණි නිසා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් කරු ජයසූරිය මහතාගේ මුහුණවත් නොබලන තැනක හිටියේ. නමුත් අපි පෞද්ගලික වෙහෙසක් දරා නායකත්ව මණ්ඩලය පත් කරන තැන දක්වා කරු ජයසූරිය මහතා ගෙන ආවා. නමුත් කරු ජයසූරිය මහතා එම දේශපාලන යථාර්ථය තේරුම් ගත්තේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන බලා‍පොරොත්තු වන අයව දැවැන්ත පාවාදීමක් සිදුකළා. පාක්ෂිකයින් බලා‍පොරොත්තු වූ වෙනස නායකත්ව මණ්ඩලය ඔස්සේ සිදුවුණේ නැහැ. ඒ නිසා අපිට ඔහුගේ කාර්යභාරය අද ප්‍රශ්න කරන්න සිදුවී තිබෙනවා. නායකත්ව මණ්ඩලයට වඩා එහි බලතල වැදගත් වෙනවා. අපි හරයාත්මක බලතල 4 ක් ගැන කතා කළා. නිලධාරින්ට සහ සාමාජිකත්වයට අණදීම, කෘත්‍යාධිකාරි මණ්ඩලයට පුද්ගලයින් පත්කිරීම, ජාතික විධායක සභාව පත්කිරීම, ‍ලේකම් සහ භාණ්ඩාගාරික පත් කිරීම ඒ ප්‍රධාන කරුණු හතරයි. ඒවා ලබාගත්තා නම් අද නායකත්ව මණ්ඩලය සාර්ථක වෙනවා. ඒ සම්බන්ධව කුරුණෑගල ලියවිල්ල මගින් කරු ජයසූරිය මහතා ඊට එකඟ වුණා. නමුත් කොළඹට පැමිණ ඒක වෙනස් කළා. ඉතිං එම දේශපාලනික පාවාදීම විවේචනය නොකර සිටින්න බැහැ.

ජාතික නාමයෝජනා මණ්ඩලයට ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව සජිත් ප්‍රේමදාස මහතා විසින් මඟහැර ඇති බවට නායකත්ව මණ්ඩලයෙන් චෝදනා නැගෙනවා නේද?

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා අතිශය නිර්දෝෂියි. ඒක අපි පැහැදිලිව කියනවා. ඒ පිළිබඳ කිසිදු චෝදනාවක් හෝ විවේචනයක් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් අපට නැහැ. අනික නායකත්ව මණ්ඩලය එහෙම ප්‍රකාශයක් සිදුකිරීමත් සදාචාර විරෝධියි. ඔය කියන නායකත්ව මණ්ඩලයට හෝ නාමයෝජනා මණ්ඩලයට ස්වාධීනව තීරණ ගැනීමේ බලයක් නැහැ. ඒ බලය තිබෙන්නේ අත්තනෝමතික ලෙස බලය පවත්වාගෙන යන රනිල් වික්‍රමසිංහ මහතා සතුවයි. එහෙම තත්ත්වයක් තිබියදී සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා මණ්ඩලයට පැමිණ අදහස් ඉදිරිපත් කළත් සත පහකවත් වැඩක් නැහැ. පාලිත තෙවරප්පෙරුම මහතාගේ පුතාට, කොළඹ පුරපති මුසම්මිල් මහතාගේ බිරියට නාම යෝජනා නොලැබිම ඇතුළු ගැටලු රැසක්ම පැන නැගුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසයි. එවැනි තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා මණ්ඩලයට ගොස් අපි වෙනුවෙන් පෙනී සිටියත් නොසිටියත් කිසි වෙනසක් නැහැ.

මේ අර්බුදකාරී පසුබිම තුළ ඔබ ඇතුළු පිරිස මෙවර මැතිවරණයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය දැනගන්න කැමතියි?

අපි පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඉන්නවා. අපේ ප්‍රතිසංස්කරණ අරගලයට දායක වෙච්ච අපේක්ෂකයන්ට අපි සහයෝගය දක්වනවා. එක්සත් ජාතික පක්ෂය පවත්වාගෙන යාමට අපි පූර්ණ වශයෙන්ම උදව් කරනවා.

මන්ත්‍රී ධුරයක් තබා පක්ෂ සාමාජිකත්වයක්වත් නොමැතිව ජනතාව පෙළගැස්විය හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

අපි මන්ත්‍රී ධුරයට ගෞරවයක් ලබාදුන්නා පමණයි. මන්ත්‍රී ධුරය විසින් අපට ගෞරවයක් ලබාදුන්නේ නැහැ. මන්ත්‍රී ධුරය ලැබෙන්නට පෙරත් අපි මේ රටේ දේශපාලනය කළා. මහජනතාව විශේෂයෙන්ම පාක්ෂිකයෝ අපේ කාර්යභාරය අගය කරනවා. ඒක අපේ ඇඟට දැනෙනවා. එසේ නොවන්නට දෙවිනුවරින් ආරම්භ කළ පාගමනට පළමු දවසේම තුන්දහසක් පාක්ෂිකයෝ එකතු වෙන්නේ නැහැනේ. කරු ජයසූරිය මහතා ඇතුළු නායකත්ව මණ්ඩලය ඇතුළු සියලු දෙනාම එකතු වී පසුගිය කාලයේ කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයටත් පැමිණියේ තුන්දහසක් පමණයි. ඒ අනුව අනාගතයේදීත් අපේ සංවිධාන කටයුතු කෙබඳුද කියලා පෙන්වීමට අපි ක්‍රියා කරනවා.

ඔබ එසේ ප්‍රකාශ කරතත් ඔබ ඇතුළු පිරිසකගේ දේශපාලන ගමන මෙතැනින් අවසන් වන බවටත් ආරංචි පැතිරෙනවා නේද?

ඔව් ඉතිං කාටහරි එහෙම කියන්න පුළුවන්. ඒක අවසානයේ ඉතිහාසය විසින් ඔප්පු කරාවි. අපේ දේශපාලනය මෙතැනින් මිය යනවද නැද්ද කියන එක තීරණය වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාව සිටිනවාද නැද්ද යන කරුණ මතයි. නමුත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න හෝ නික්ම යන්න මගේ බලා‍පොරොත්තුවක් නැහැ. මගේ ගමන සුපුරුදු විදියටම ඉදිරියට යනවා.

එජාප ප්‍රතිසංවිධාන වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් කාලයක් තිස්සේම ආණ්ඩුවේ නතර වන බව පෙනෙනවා. ඔබටත් එසේ සිදුවේද?


එහෙම වෙන්නේ නැහැ. ආණ්ඩුවට එන්න කියලා මටත් ආරාධනා ලැබුණා. වෙනත් පක්ෂවලිනුත් ආරාධනා ලැබුණා. නමුත් බොහොම කාරුණිකව ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මම එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්නේ පක්ෂ ප්‍රතිපත්තිය මතයි. ඉතිං ඒ ප්‍රතිපත්තිය කඩකරලා ආණ්ඩුවට යන්න මට බැහැ.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ඔබට තිබෙන පූර්ව තක්සේරුව කුමක්ද?

අපිට ලැබි තිබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල බරපතළ පසුබෑමකට ලක්වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කෝට්ටේ, මහරගම ඇතුළු ඡන්ද බල ප්‍රදේශත් බරපතළ පසුබෑමකට ලක්වන බව පෙනෙනවා. දකුණේ විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ බරපතළ පසුබෑමකට ලක්වීමටත් ඉඩ තිබෙනවා.

මැතිවරණයෙන් පසුව ජාතික පවුර විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැනත් දැනගැනීමට කැමැතියි?

අපි පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒමේ අරගලයට අත තබනවා. ඊළඟ ජනාධිපතිවරණයට පෙර එජාපය ශක්තිමත් පදනමකට ගෙන ඒමේ කටයුතු මාර්තු 28 වන විට ආරම්භ කිරීම අපේ අරමුණයි.

මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් සිදුවේද?

මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ශ්‍රී ලංකාව කියන ජාතික අරමුණ තුළ සිටයි. දේශපාලන පක්ෂ අනුව බෙදී ඒ පිළිබඳ බලන්න බැහැ. මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවෙලා තිබෙනවා. ඒ ගැන වාදයක් නැහැ. නමුත් ඒ සඳහා මුහුණදීමේදී අපි ජාතික ප්‍රතිපත්තියකට පැමිණිය යුතුයි. ඒ ජාතික ප්‍රතිපත්තියේදී බෙදුම්වාදය සහ ඒ බෙදුම්වාදයට උදව් කරන ජාත්‍යන්තර ප්‍රවණතා දේශපාලනිකව අපි පරාජය කළ යුතුයි.

No comments:

Post a Comment

Post Bottom Ad