සංජීව සමරසිංහ මුදල් වංචා කළා - කැටගොඩ - GOSSIP9.WORLD

Post Top Ad

සංජීව සමරසිංහ මුදල් වංචා කළා - කැටගොඩ

Share This
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහිව මුදල් වංචාවලට අදාළ චෝදනා පැවති බවත්, එහෙයින් පක්ෂය විසින් පරීක්ෂණයක් සිදුකරමින් පැවැති බවත් ප්‍රජාතන්‍ත්‍රවාදී පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසීය.

හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් උපසභාපතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළ අතර, පක්ෂ නායක සරත් ෆොන්සේකා වට්ටන්නට කිසිම අයෙකුට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

කෙසේවුවද, ඊයේ (25) කොළඹ සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් සංජීව සමරසිංහ මහතා කියා සිටියේ, සරත් ෆොන්සේකා මහතා ඒකාධිපති වියරුවකින් වැඩ කරන පුද්ගලයෙකු වන අතර, ඔහු සමග තවදුරටත් වැඩකිරීමට නොහැකි හෙයින් එම පක්ෂයෙන් ඉවත්වූ බවයි.

තමාට මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ජනමාධ්‍ය හරහා රටේ ජනතාවට අසත්‍ය කරුණු කීමට සිදුවූ අවස්ථා තිබුණු බවද ඊ‍ට ප්‍රසිද්ධියේ සමාව අයදින බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමරසිංහ මහතා කීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති අතර පක්ෂයේ අරමුදලට පරිත්‍යාගශීලීන් ලබාදෙන මුදල් යටිමඩි ගසා‍ගන්නා බවද එහිදී සමරසිංහ මහතා කීවේය.

ෆොන්සේකා මහතා සමග එක දිගට කිසිදු පුද්ගලයෙකුට වැඩ කළ නොහැකි අතර වසරකුත් මාස නවයක් තමා ඔහු සමග වැඩ කිරීමෙන් වාර්තාවක් තැබූ බවද එහිදී සමරසිංහ මහතා සඳහන් කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එම ස්ථානයට කඩාවැදී සමරසිංහ මහතාට විරෝධය දක්වමින් බාධා කරන්නටද විය.

" හොරා, පක්ෂයේ සල්ලි අරගෙන අහුවුණා. ඒ නිසා ඉවත් කළා. ඔය කියන්නේ පට්ටපල් බොරු. බොරු කියන්න එපා සංජීව අයියේ. මෙයා කාගෙන් හරි සල්ලි අරගෙන මෙයා දෙපැත්ත කනවා " ආදිය කියමින් ඔවුහු ප්‍රවෘත්ති සාකච්ඡාවට බාධා කළහ.

ප්‍රවෘත්ති සාකච්ඡාවට බාධා නොකරන ලෙසත් සමරසිංහ මහතාට එය කරගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙසත් මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිය ද එය නොතකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රියාකාරීහු දිගින් දිගටම බාධා කළහ. මෙයාට පක්ෂයෙන් පඩි ගෙව්වා. ළමයාට බයිසිකලයක් අරන් දුන්නා. රුපියල් 50,000ක් සොරකම් කළා. නායකතුමා අයින් කළේ ඒ නිසයි. ආදී වශයෙන් චෝදනා කරමින් ඔවුහු තවදුරටත් ප්‍රවෘත්ති සාකච්ඡාවට බාධා කළහ.

ඉන්පසුව ප්‍රවෘත්ති සාකච්ඡාව මඳකට නතර කළ සංජීව සමරසිංහ මහතා එම ස්ථානයේ සිටම දුරකතනයෙන් පොලීසියට පැමිණිල්ලක්ද ක‍ළේය.

එහෙත් පොලීසිය ප්‍රවෘත්ති සාකච්ඡාව නිමවනතුරු එම ස්ථානයට නොපැමිණි අතර සංජීව සමරසිංහ මහතා බාධා මධ්‍යයේ සිය කතාව කරගෙන ගියේය.

ඔහු මෙසේද කීය.

" මම මේ පක්ෂයට දරදිය ඇද්දා. බොහෝ කැපකිරීම් කළා. උදේ 9.00ට කාර්යාලයට ආවා. රෑ 9.00 පමණ වනතුරු වැඩ කළා. එක දවසක් ඉරිදාවක නිවාඩු ගත්ත නිසා ෆොන්සේකා මහතා මට තදින් බැණවැදුණා. ගෙදර වැඩකරන, කාර්යාලයේ වැඩ කරන සේවකයින්ට බැණවදින්නේ සත්තුවත්තේ ඉන්න විවිධ සතුන්ගේ නම්වලින්. වයඹ මැතිවරණ සමයේදී රියැදුරන් 22ක් ඔහු අතහැර ගියා. ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවට රජයෙන් ඇමති ආරක්ෂකයින් යොදා තිබෙනවා. මින් කීප දෙනෙකු ඉවත් වුණා. මෙතුමා එක්ක වැඩ කරන්න අමාරු බව කියමින් ඇමති ආරක්ෂකයින් ඉවත් වෙන්න ලියුම් දීලා තියෙනවා.

මම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ක්‍රියාකාරිකයෙක්. ෆොන්සේකා මහතා හිරෙන් නිදහස් වී ආ පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බිහිකරන්න අත්වැල් බැඳගත්තා. අපි දෙදෙනා හොඳ මිතුරන්. දවල් කෑම ගන්නේ එකටමයි. මම තමයි ඔහු සමග වැඩිය කාලයක් ළඟින් හිටියේ. මේ ලෝක කිසි කෙනෙකුට ඔහු එක්ක දිකු කලක් ඉන්න බැහැ. ඒ තරම් වියරු වැටිලා. නිතරම ඉන්නේ පළිගැනීමේ චේතනාවෙන්. වෛරය, ක්‍රෝධය කරපින්නාගෙන තමයි මෙතුමා ජීවත්වෙන්නෙ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන සංවිධායකවරු පත්කරන්නේ විහිළු සහගත විදියට. එන ඕනම කෙනෙකුට සංවිධායක හෝ සම සංවිධායකකම් දෙනවා. නාම යොජනා මණ්ඩලයක් තිබ්බේ නැහැ. ජනමාධ්‍ය මගෙන් ඇහුවාම මම කිව්වා එහෙම මණ්ඩලයක් තිබුණාය කියලා. ඒ කිව්වේ, පක්ෂය ආරක්ෂා කරගන්න මම මාධ්‍යයට බොරු කිව්වා. ඒකට සමාව ඉල්ලනවා.


සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ නිලධාරීන්ට වැටුප් ගෙවන්න යම් යම් ව්‍යාපාරිකයින් ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන් දෙන මුදල් සේවකයින්ට දෙනවිට රුපියල් 1000ක් හමාරක් අඩුවෙනවා. ඒ මුදල්වලට මොනවා වෙනවාද දන්නෙ නැහැ.


එහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ලලිත් ගුණවර්ධන මහතා මෙසේ කීය.


මම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක. මම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නත් ඒක පිළිගන්නෙ නැහැ. මම පක්ෂ අරමුදලට රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළා. අඩුම තරමේ ස්තුති කිරීමේ ලිපියක්වත් නැහැ. පක්ෂ අරමුදලට ලබාදෙන මුදල්වලට කුමක් වෙනවාදැයි දන්නේ නැහැ. මේ පක්ෂයට පැහැදිලි ගමනක් නැහැ. පසුපෙළ නායකත්වයක් නැහැ. තවදුරටත් මේ පක්ෂයේ රැඳී සිටීමෙන් ඵලක් නැතැයි "  ද ගුණවර්ධන මහතා කීය. 

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා ඒවාට සංජීව සමරසිංහ හා ලලිත් ගුණවර්ධන යන මහතුවරුන් ලබාදුන් පිළිතුරු මෙසේය.

ඔබ එදා මාධ්‍යයට බොරු කිවු බව කියනවා. අදත් කියන්නෙ බොරුදැයි අපට සැකයක් තිබෙනවා?

නැහැ. මම එදා පක්ෂය ආරක්ෂා කරන්න බොරු කිව්වා. මම පක්ෂයට ආදරෙයි. අද මම කියන දේ සනාථ කරන්න ඕන තරම් කරුණු තියෙනවා. දැන් බලන්න. එක්තරා ඉරිදා පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙවර මැතිවරණයෙන් ඉවත්වීමට තීන්දුවක් ගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඒක සත්‍යයක්. මා ඊ‍ට විරුද්ධ වුණා. ඒත් නායකතුමාට අවශ්‍ය ඡන්දෙන් ඉවත් වෙන්නයි.

ඔබ පක්ෂයෙන් රුපියල් 50,000ක් වංචා කළ බවට චෝදනා තිබෙනවා?

ඒක සම්පූර්ණ බොරුවක්.

ඔබ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ වෙනත් පාර්ශ්වයක අවශ්‍යතාවක් ඉටුකිරීමට යැයි චෝදනාවක් නැගෙනවා.

අපට එහෙම අදහසක් නැහැ.

ඔබේ ඉදිරි කටයුතු මොනවාද?

කාලයක් නිහඩව ඉන්නවා.

තව ටික දවසකින් ඔබලා දෙදෙනා ආණ්ඩුවට මුක්කු ගහවි?

සංජීව මහතා: එහෙම අදහසක් නැහැ.

ලලිත් ගුණවර්ධන මහතා: ශක්තිමත් නායකත්වයක්, ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන පක්ෂයකින් අපට දේශපාලනය කරන්න ලැබුණොත් ඒකට බාධාවක් වන එකක් නැහැ. 

No comments:

Post a Comment

Post Bottom Ad