මුතුරාජවෙල අභය භූමියෙන් අක්කර 150ක් සමාගමකට - GOSSIP9.WORLD

Post Top Ad

මුතුරාජවෙල අභය භූමියෙන් අක්කර 150ක් සමාගමකට

Share This
සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියේ අක්කර 150ක් පෞද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය අනාවරණය කරයි.

ඇමරිකානු ඩොලර් මිලියන 800ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් නිදහස් කර ගැනීමට ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ ශිවන් ද සිල්වා මහතා විසින් 2013 දෙසැම්බර් 5 දිනැති ජ්ඛි/4/1718/2 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය සුපිරි නගර ව්‍යාපෘතිය යටතේ සුපිරි නිවාස සංකීර්ණ, හෝටල්, කඩසාප්පු, වෛද්‍ය මධ්‍යස්ථාන, ගොල්ෆ් පිටියක් මෙහිදී ඉදිවීමට නියමිත බවද එම පර්යේෂණ කවය සඳහන් කරයි.

1996 ඔක්තෝබර් මස 31 වන දින සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මුතුරාජවෙල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ජාතික හා පාරිසරික පනතට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදුකිරීමට පෙර පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය. එවැනි අනුමැතියක් හෝ මේ සඳහා ලබාගෙන නොමැති බවද සංරක්ෂණ හා පර්යේෂණ කවය චෝදනා කරයි.

1989 වසරේ ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර් ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 අතරට ඇතුළත් මුතුරාජවෙල තෙත් බිම් රැසක සම්මුතිය යටතේ යෝජිත සුවිශේෂී තෙත්බිම් 6ට ඇතුළත් වේ. ඒ අනුව හෙක්ටයාර් 1029ක භූමි ප්‍රමාණයක් මුතුරාජවෙලට අයත් වන අතර සත්ව විශේෂ කාණ්ඩ 7කට අයත් වනජීවීන් විශේෂ 449ක් මෙහි සිටින බව වාර්තා වී තිබේ. එයින් විශේෂ 26ක් ලංකාවට ආවේණික සත්ව විශේෂයන් වේ.

මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ කෙරෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අභය භූමියේ වනජීවී ප්‍රජාවට බරපතළ හානියක් සිදුවන අතර එමගින් ආශ්‍රිත ජනතාවට මෙමගින් දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවන බව එම පර්යේෂණ කවය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය 02 වන දින පැවැති ලෝක තෙත් බිම් දිනයේදී ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීමට විශේෂිත වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවත්ත සුභසිංහ මහතා කළ ප්‍රකාශයද සැලකිල්ලට ගනිමින් මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කර එහි වටිනාකම මතු පරම්පරාවන් වෙනුවෙන් රැක දෙන ලෙස ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad