වැලිකඩ යෝජනා ක්‍රියාවට නැංවීමට තවත් කමිටුවක් - GOSSIP9.WORLD

Post Top Ad

වැලිකඩ යෝජනා ක්‍රියාවට නැංවීමට තවත් කමිටුවක්

Share This
විසි හත් දෙනකුට මරු කැඳවූ 2012 වැලිකඩ සිරගෙදර ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට තවත් කමිටුවක් පත් කොට ඇත.

චන්ද්‍රසිරි ගජධීර, බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටයුතු භාර ඇමතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති නව කමිටුවට අතිරේක ලේකම් (සංවර්ධන) සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් ඇතුළත් වෙති.

බන්ධනාගාර ගැටුම පිරික්සීමට ඇමතිවරයා විසින් පත් කරනු ලැබ තිබුණ මුල් කොමිසම ඉදිරිපත් කර තිබුණ නිර්දේශ දාහතක් ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමයි නව කමිටුවේ කාර්යභාරය.

සැලැස්මේ අරමුණ
සිය සැලැස්ම මේ සතිය ඇතුළත ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

" මේ සැලැස්මෙන් අපි බලාපොරොත්තු වන්නේ ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාවට නැංවීමේ කාල වකවානු තීරණය කිරීම සහ මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා පියවර ගැනීමයි, " අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ පැවසීය.

වැලිකඩ සිරගෙදර සිදු කෙරුණු මරණ වලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමක් පළමු කොමිසම විසින් නිර්දේශ කර තිබේ දැයි විමසීමේ දී ලේකම්වරයා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් කිසිවකුට ඇඟිල්ල දිගු කිරීමක් සිදු කොට නැති, බවයි.

වන්දි නැහැ
" මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමක් කොමිසම මගින් යෝජනා කරල නැහැ. සිරකරුවකු පළා යාමට තැත් කරන අවස්ථාවක එවැන්නකුට වෙඩි තැබීමට පවා නිලධාරීන්ට බලය තියෙනවා, " යි අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පළමු කමිටුවේ වාර්තාව ක්‍රියාවට නැංවීම ප්‍රමාද වූ බව පිළිගත් ලේකම්වරයා, මේ මාසය අවසන් වන විට එය ක්‍රියාවට නැංවීමට මෙන් ම පාර්ලිමේන්තු කාරක සභාවක ට ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad