මට බැරිවූ රන් පදක්කම මගේ දුව ගෙන ඒවි - සුසන්තිකා - GOSSIP9.WORLD

Post Top Ad

මට බැරිවූ රන් පදක්කම මගේ දුව ගෙන ඒවි - සුසන්තිකා

Share This
ශ්‍රී ලංකාව සතුව සිටින එකම ඔලිම්පික් පදක්කම්ලාභිනිය ලෙස සැලකෙන සුසන්තිකා ජයසිංහ දෙවැනි වරටත් මවු පදවියට පත් වූයේ පසුගිය සඳුදා (13දා) දියණියක මෙලොවට බිහි කිරීමත් සමඟය.

මේ පුවත දැනගත් විගස අප දුරකතනයෙන් සුසන්තිකා අමතා සුබ පැතූ අතරම " ඔබ මෙන් දියණියත් කෙදිනක හෝ ඔලිම්පික් පදක්කම් ලංකාවට ගෙන ඒවිද? " යන ප්‍රශ්නය ඇසූ විට " ඔව් ඔව් මම ගෙනාවේ රිදී පදක්කමක් නේ.... මට ගේන්න බැරි වුණ රන් පදක්කම මෙයා ගෙන ඒවි කියලා මට හිතෙනවා " (සිනාසෙමින්...) යනුවෙන් විහිළුවක් කරමින් සුසන්තිකා ඊට පිළිතුරු දුන්නාය.


තවද අවුරුදු 5කට ආසන්න වී සිටින තම වැඩිමහල් පුත් ඔකිත රන්දීර ගැනද කතා කරන්නට අමතක නොකළ සුසන්තිකා මෙවැන්නක් පැවැසීය. " පුතා නම් ට්‍රේල් බයික් පදින්න හරි කැමැතියි. එයා කවදා හරි බයික් රේස්කාරයෙක් වෙයි කියලා හිතෙනවා. මම අනාවැකි කියන්න කැමැති නැහැ. ඒත් මට ඇත්තටම හරිම සන්තෝෂයි. දුවයි පුතයි දෙන්නෙක් දැන් මට ඉන්නවා. මම අංගසම්පූර්ණ මවක් කියලා මට දැන් දැනෙනවා. "


කෙසේ වෙතත් සුසන්තිකා දුරකතනයෙන් විහිළුවට මෙන් කී අදහස යථාර්ථයක් වේද දැන ගැනීමේ අදහසින් දුරකතනයෙන් කතා කළ දිනට පසු දිනම අපි සුසන්තිකා නේවාසිකව සිටි කොළඹ පෞද්ගලික රෝහලට ගොඩ වූයෙමු.

කවදත් ආදරයෙන් සිහිපත් කරන ඇයගේ මවද සුන්තිකා හා දියණියගේ තනියට සිටි අතර දුරකතනයෙන් විහිළුවට මෙන් කී කතාව ඇත්තෙන්ම සිතේ කොනක හෝ ඇති බලාපොරොත්තුවක් දැයි විමසමින් කතාවට බැස්සේය. එහෙත් සුසන්තිකා ඒ කතාව විහිළුවට කී කතාවක් බවද පවසමින් මෙසේද කීය.


" මම මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන ගැහැනියෙක් නෙවෙයි. ළමයි අනාගතයේදී කරන දේවල් අපි දැන්ම කියන්න දන්නෙ නැහැනේ. මම දැන් අතිශය සතුටු වෙන්නෙ දරුවෝ දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් නිසයි. ළමයෙක් හම්බවෙච්ච ගමන් පෙර නිමිති කියන එක ගැළපෙන දෙයක් නෙවෙයිනේ. මෙච්චර කරපු මම ගැනවත් අපේ අම්මා එහෙම අනාවැකි කියලා නැහැනේ. දුවනවද පනිනවද ඉගෙන ගන්නවාද කියන එක නැකැත් බලලා කියන්න මම දන්න කෙනෙක් නෙවෙයිනේ. එහෙම මම කියන්නත් ආස නැහැ. "


එහෙත් ඕනෑම විහිළුවකට පදනම් වූ සත්‍යයක් තිබිය හැකි යැයි අප විශ්වාස කරන බැවින් ඇය දියණියක ලැබුවාය යන පුවත ඇසූ සැණින් අප ඒ ගැන විමසූ විට විහිළුවට මෙන් වුවද ඇය කී දෙය සැබෑවක් වන්නට ඉඩ ඇතැයි සිතුණේ ඇයගේ හිටපු පුහුණුකරුවකුද අපට කළ අදහස් අනුවය.


සුසන්තිකාගේ පුහුණුකරුගේ අදහස්  
එම පුහුණුකරුවා වෙනත් කවුරුත් නොව වර්තමානයේදී 'ගේට්වේ' ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන ඩර්වින් පෙරේරා මහතාය. ඩර්වින් පෙරේරා යනු 1995 සිට 1999 දක්වාම සුසන්තිකා ජයසිංහගේ ප්‍රධාන පුහුණුකරුවාය. සුසන්තිකාට දියණියක ලැබුණු පුවත ඩර්වින්ගේ කනට තැබූ විට " හදවතින්ම මගේ සුබ පැතුම් සුසන්තිකාට දෙන්න කැමැතියි " යනුවෙන් පැවැසූ ඔහු තවදුරටත් පළකළ අදහස් ඔහුගේ වචනවලින්ම මෙසේය.

" ක්‍රීඩිකාවක් වශයෙන් එතරම් දක්‍ෂතා දක්වපු වෙනත් කෙනෙක් මට තවමත් හමුවුණේ නැහැ. ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගෙනාපු එකම ක්‍රීඩිකාව හැටියට තම දරුවා ගැන එහෙම අදහසක් පහළ වුණොත් ඒක ඉතාමත් හොඳයි. අනෙක අනෙක් අයට වඩා පහසුවෙන් මෙන්ම ඉක්මනින්ම ඒ ඉලක්කය සපුරා ගන්න සුසන්තිකාට පුළුවන් කියලා මට විශ්වාසයි. "


සුසන්තිකාගේ වාර්තා 
තත්පර 11.34කින් මීටර් 100 කාන්තා දකුණු ආසියාතික වාර්තාව තැබූ මීටර් 100 හා මීටර් 200 ආසියානු ශූරතා රන් පදක්කම්වලට හිමිකම් කී සුසන්තිකා 1997 හා 2007 වසරවලදී ලෝක ශූරතා මීටර් 100 රිදී හා මීටර් 200 ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ආ ගමන කෙළවර වූයේ 2000දී සිඩ්නි ඔලිම්පික් රිදී පදක්කම පැලඳ ගැනීමෙනි. එනම් 2000 සැප්තැම්බර් 28දා මීටර් 200 තත්පර 22.28කින් නිමකර ඇය එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කළ අතර 2000 සැප්තැම්බර් 9දා මීටර් 100 ඉසව්ව තත්පර 11.04කින් නිම කර සිය දිවියේ හොඳම කාලය වාර්තා කළේ ජපානයේ යෝකොහාමාහිදීය.

No comments:

Post a Comment

Post Bottom Ad