අවුරුදු කෑම විසිවී 400ක්‌ රෝහල්වල - GOSSIP9.WORLD

Post Top Ad

අවුරුදු කෑම විසිවී 400ක්‌ රෝහල්වල

Share This
හොරණ, පාදුක්‌ක සහ දංකොටුව ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා තුනක පැවති අවුරුදු සාදවලට සහභාගි වූ සේවක සේවිකාවන් 400 දෙනකුට ආසන්න පිරිසක්‌ ආහාර විස වීම නිසා දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇත.

මෙසේ රෝගාතුර වූ පිරිස්‌ වහාම රෝහල්ගත කළ අතර ඔවුන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදී ඇත. ඊයේ සවස්‌ වන විට රෝගීන් විශාල පිරිසක්‌ ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස්‌ සිටි අතර තවත් 100 කට ආසන්න පිරිසක්‌ ප්‍රතිකාර ලබමින් සිටියහ.

පාදුක්‌ක ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක පෙරේදා (01 වැනිදා) පැවති සාදයක්‌ අවසානයේ ඊට සහභාගි වූ සේවක සේවිකාවෝ 150 දෙනෙක්‌ රෝගාතුර වූහ.

පසුව ඔවුන් හෝමාගම සහ පාදුක්‌ක රෝහල්වලට ඇතුළත් කර තිබේ. සාදය සඳහා පිසූ කුකුළුමස්‌ ව්‍යංජනයක්‌ ආහාරයට ගැනීමෙන් මෙම රෝගී තත්ත්වය උද්ගත වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර හොරණ බොරලුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ඊයේ පැවති සාදයක්‌ අතරතුර එහි සේවක සේවිකාවන් 200 දෙනකු රෝගී වී ඇත.

මේ අතර දංකොටුව බුඡ්ජම්පොල කර්මාන්තපුරයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක පෙරේදා (01 දා) දහවල් පැවති සාදයකදී ආහාර විෂ වීමකින් රෝගීවූ 36 දෙනකු පමණ ඊයේ ප්‍රතිකාර ලබා ගැනීමට දංකොටුව දිසා රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි බව එහි දිස්‌ත්‍රික්‌ වෛද්‍ය අජිත් කෝදාගොඩ මහතා පැවසීය.

ඔවුන් ක්‌ලාන්තය, වමනය යැම, උදරයේ වේදනාව වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ බවත් එයින් කාන්තාවන් 6 දෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රෝගීන් වැඩි හරියක්‌ කාන්තාවන් වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පැවසේ.

මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවල ආහාර විස වීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කණ්‌ඩායමක්‌ ඊයේ පෙරවරුවේ එහි ගොස්‌ සිය පරීක්‍ෂණ ආරම්භ කළහ.

රෝගී වූ සේවක සේවිකාවන්ගෙන් කිසිවකුටවත් බරපතළ තත්ත්වයක්‌ නොමැති බවත් ඔවුන් සියලු දෙනා උදරාබාධ ක්‌ලාන්ත ගතියෙන් පෙළෙන බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ විස වීමට හේතු වූ ආහාර සැපයූ ආයතනය තාවකාලිකව මුද්‍රd තැබූ බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

මෙම සිද්ධිය වාර්තා වූ සැණින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පියවර ගත් අතර එම කරුණු සොයා බැලීමේදී මෙම ආහාර පාන සපයා තිබෙන ආයතනයෙන් සපයන ලද කුකුළු මස්‌වල අඩංගුව තිබූ කිසියම් ක්‍ෂුද්‍ර ජීවීන් හෝ විස ද්‍රව්‍යක්‌ නිසා මෙම ආහාර පාන විසවීමට ඇතැයි අනුමාන කෙරේ. ආහාර විසවීමට ලක්‌වූ රෝගීන් හොරණ රෝහලේ 200 ක්‌, හෝමාගම රෝහලේ 150 ක්‌ සහ පාදුක්‌ක රෝහලේ කිහිපදෙනෙක්‌ ද ප්‍රතිකාර ගන්නා අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බස්‌නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා වහාම අවධානය යොමු කළ අතර ඒ අනුව ආහාර සැපයූ ආයතනය තාවකාලිකව මුද්‍රා තැබීමටත්, සපයන ලද ආහාර සාම්පල අත්අඩංගුවට ගැනීමට, පියවර ගත් බව වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad