[DEHI NEWS] මන්නාරම සමූහ මිනී වළ ගැන ජවිපෙ කතා කරයි - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] මන්නාරම සමූහ මිනී වළ ගැන ජවිපෙ කතා කරයි

Share This
උතුරේ වුවද, දකුණේ වුවද, මන්නාරම සමූහ මිනීවළෙහි වැළලී සිටියාවූ මිනිසුන්ට කඩිනමින් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 

මාතලේ සමූහ මිනීවළෙන් හිස්කබල් 150ට අධික ප‍්‍රමාණයක් හමුවීම සමග දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය මැද ආණ්ඩුව ඒ ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරනු ලැබූ නමුත් අද වනවිට එම කොමිසමද අතුරුදහන් වූවන්ගේ ගණයට අයත් වී ඇති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි. 

ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදිය.

" මන්නාරම, මාන්තායි - තිරුකේතීස්වරම් හිදී සොයා ගන්නා ලද සමූහ මිනීවළෙන් මේ වනවිට මිනිස් සිරුරු 43ට අදාළ හිස්කබල් සහ අස්ථි කැබලි සොයාගනු ලැබ ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කොට තිබේ. මෙම සිදුවීමද මාතලේ සමූහ මිනීවළෙන් මළ සිරුරු 150ට අධික ප‍්‍රමාණයක හිස්කබල් හා අස්ථි කොටස් හමුවීම හා සමානම මානව ඛේදවාචකයක් නියෝජනය කරනු ලබන්නේ යැයි අපි විශ්වාස කරමු. 

පසුගිය දෙසැම්බර් 20වැනි දින තිරුකේතීස්වරම් ප‍්‍රදේශයේ ජල නළ එළමින් සිටි කම්කරුවන් පිරිසකට මිනිස් හිස්කබල් 03ක් හමුවීමත් සමග අවධානයට ලක්වූ මෙම ස්ථානය ආශ‍්‍රිතව සිදුකරන ලද කැණීම්වලින් තවත් මළ සිරුරු ගණනාවක අස්ථිකොටස් හමුවී තිබේ. එමගින් මෙය අනීතික ලෙස මිනිසුන් මරා වළලන ලද සමූහ මිනිවළක් බව තහවුරු වේ. 


දකුණේ වුවද උතුරේ වුවද මෙහි වැළලී සිටියාවූ මිනිසුන්ට යුක්තිය සාධාරණය ඉටුවීම අවශ්‍යය. කුඩා ළමුන්ගේ යැයි සැක කළ හැකි අස්ථි කොටස්ද සහිත මෙම හිස් කබල්වලින් බොහෝමයක වෙඩි වැදීමෙන් සිදුවූයේ යැයි සිතිය හැකි සිදුරු ඇති බව සඳහන්ය. එබැවින් මෙම මිනීවළ අතිශය අමානුෂික ඝාතන මාලාවක හෙළිදරව් වූ කුඩා නිරූපණයක් පමණක් වීමේ ඉඩකඩ වැඩිය. 


මෙම ප‍්‍රදේශය කලින් කලට විවිධ කොටස් මගින් පාලනය වූ බව කියනු ලබයි. දැනට ආණ්ඩුවේ පාර්ශවයෙන් මෙම සිරුරු කොටස් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හෝ ඉන්දියානු සාම සාධක හමුදාව විසින් ඝාතනය කරන ලද සිවිල් වැසියන්ගේ විය හැකි බව කියනු ලබද්දී තවත් පාර්ශව එයට ආණ්ඩුවේ ආරක්ෂක අංශ වගකිවයුතු බවට කියා සිටිති. කෙසේ වුවද වැදගත් වන්නේ, එකිනෙක පාර්ශව වෙත චෝදනා කිරීම සඳහා මෙම සිදුවීම පාවිච්චි කරගන්නවා වෙනුවට ඒ පිළිබඳ සත්‍යය කඩිනමින් අනාවරණය කරගැනීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීමය. 


කෙසේ වුවද මෙවැනි අනාවරණයන් සම්බන්ධව ආණ්ඩුවේ මැදිහත්වීම අතිශයින් කනගාටුදායකය. නිදසුනක් ලෙස මාතලේ සමූහ මිනීවළෙන් හිස්කබල් 150ට අධික ප‍්‍රමාණයක් හමුවීම සමග අපද ඇතුළු දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා ජනතාවගෙන් එල්ල වූ බලවත් විරෝධය මැද ආණ්ඩුව විසින් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරනු ලැබීය. අද වනවිට එම කොමිසමද අතුරුදහන් වූවන්ගේ ගණයට අයත් වී තිබේ. ප‍්‍රශ්නයෙන් මහජන අවධානය ඉවත්කිරීම ඇරෙන්නට එවැනි ප්‍රෝඩාකාරී කොමිසමකින් ඉටුවන සාධාරණයක් නැත. 


අද අවශ්‍ය වනුයේ, නීතිය කි‍්‍රයාත්මක කිරීමේ අංශ මගින් සිදුකරනු ලබන පරීක්ෂණ ක‍්‍රියාවලිය අපක්ෂපාතීව හා කඩිනමින් සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමය; ඊට ඇති බාධාවන් වේනම් ඒවා ඉවත් කරලීමය. එබැවින් මෙම මන්නාරම සමූහ මිනීවළ පිළිබඳව අපක්ෂපාතී, කඩිනම් හා සාධාරණ පරීක්ෂණයක් සිදුකර මිය ගියවුන්ට යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට දැඩිව බලකර සිටිමු.

No comments:

Post a Comment

Post Bottom Ad