ලංකාව තුළ හුවමාරුවන මත් කුඩු ජාවාරමේ තතු - GOSSIP9.WORLD

Post Top Ad

ලංකාව තුළ හුවමාරුවන මත් කුඩු ජාවාරමේ තතු

Share This
වසරකට කුඩු කිලෝ 700ක් බීවත්
අහුවෙන්නේ කුඩු කිලෝ 30යි 

හෙරොයින් සම්බන්ධයෙන් මෑත කාලයේ වැඩි කතා බහක් ඇති විය. කුඩු කන්ටේනරය නිසා ඇති වූ කතා බහ ඉදිරියට ගෙන යෑමට වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිගේ සිද්ධිය සමත් විය. දකුණු පළාතෙන් හසු වූ වැඩිම හෙරොයින් තොගය හමුවූවේ මෑතක දීය.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස මුළු සමාජයම හෙරොයින් ගැන කතා කරන්නට වූ අතර ශ‍්‍රී ලංකාව හෙරොයින්වලට යටවී හමාර බවත් පිරිසක් කීහ. ලංකාව යනු ආසියාවේ හෙරොයින් එහා මෙහා යන මාර්ගයේ කේන්ද්‍රස්ථානය බව තවත් පිරිසක් කීහ. මෙවැනි කතා බහක් ඇතිවී ඇති තත්ත්වයක, විවිධ සමාජ කණ්ඩායම් හෙරොයින් ගැන සොයන්නට පටන්ගෙන ඇති පසුබිමක හෙරොයින් හා ලංකාවේ හෙරොයින් ව්‍යාප්තිය ගැන සදහන් කිරීම වටී.

හෙරොයින් යනු ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් නොවේ. 'ඩයිඇසිටයිල් මෝෆීන්' (Diacetyl morphine) ලෙස හෙරොයින් හැඳින්වේ. මෝෆීන් නම් ද්‍රව්‍යයට තවත් රසායන ද්‍රව්‍ය කිහිපයක් එක්කර හෙරොයින් නිෂ්පාදනය කරයි. මොර්ෆීන් යනු පොපි ශාඛයෙන් නිෂ්පාදනය කරන ද්‍රව්‍යයකි. පොපි ශාකයෙන් නිපදවන අබිංවලින් මෝර්ෆීන් නිෂ්පාදනය කරයි.

සුදු, කහ, සහ දුඹුරු පැහැයෙන් හෙරොයින් පවතී. කුඩු, කැට සහ දියර ස්වභාවයන්ගෙන් හෙරොයින් දැකිය හැකිය. ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම හෙරොයින් ඇත්තේ කුඩු වශයෙනි. ඇසිඞ් හෝ විනාකිරි මෙන් ගඳක් වහනය වන හෙරොයින් හි හොඳම වර්ගය සුදු පැහැයෙන් යුක්ත බව කියති. ලංකා වෙළෙඳපොළේ එවැනි හෙරොයින් නැත. වැඩි වශයෙන් හෙරොයින් නිපදවන වන රටක්ලෙස කොලොම්බියාව දැක්විය හැකිය.

හෙරොයින් ලංකාවට එන ආකාරය
ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් හෙරොයින් එන්නේ ඇෆ්ගනිස්ථානයේ සිට බව සොයාගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාව හරහා හෙරොයින් ගෙන ඒම එක් මාර්ගයක් ලෙස යොදා ගැනෙන අතර ඉරානය දෙසින් රුසියාවේ කැඩුණු ප‍්‍රාන්ත හරහා ගෙන ඒම තවත් මාර්ගයක් ලෙස ද පෙන්වාදිය හැකිය. පකිස්ථානයේ සිට ද ලංකාවට හෙරොයින් ගෙන එන බව සොයාගෙන ඇත.

ශ‍්‍රී ලංකාවට හෙරොයින් ඇතුළුවන ප‍්‍රධාන මාර්ග දෙකකි. පළමුවැන්න මුහුදෙනි. දෙවැන්න ගුවනෙනි. එයින් වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට හෙරොයින් එන්නේ මුහුදු මාර්ගයෙනි. මුහුදු මගින් හෙරොයින් ලංකාවට ගෙනෙන ප‍්‍රධාන ක‍්‍රම දෙක වන්නේ කන්ටේනර සහ බෝට්ටු මගින් පමණි.

පසුගිදා ආන්දෝලනයකට තුඩුදුන් කුඩු කන්ටේනරය ද මුහුදු මාර්ගයෙන් ගෙනා එකකි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන අංශ මීට පෙර සොයාගෙන තිබුණේ බෝට්ටු හරහා ලංකාවට වැඩි වශයෙන් කුඩු ගෙන එන බවයි. එම මතය බිඳ හෙළමින් ඊට වඩා සිය දහස් ගුණයක් වැඩියෙන් කන්ටේනරවලින් කුඩු ගෙන එන බව හෙළි වූයේ ග‍්‍රීස් ටින් අස්සේ සඟවා ගෙන ආ හෙරොයින් කිලෝ 261ත් සමගය. මෙවැනි කන්ටේනර මීට පෙර ලංකාවට පැමිණියේ නැතැයි කිසිවකුට කිව නොහැකිය.

ඉන්දියාවේ සිට බටහිර වෙරළ තීරයට බෝට්ටු මගින් බහුල වශයෙන් හෙරොයින් ගෙන එන බවට ද ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ආයතනවලට තොරතුරු ලැබී ඇත.  මීගමුවේ සිට හලාවත දෙසට මුහුදු තීරය ඒ අතර විශේෂත්වයක් ගනී. බෝට්ටු මගින් ගෙන එන හෙරොයින් ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතැම් ස්ථානවලින් ලංකාවට ඇතුළුවන බව ද කියති.

ලංකාවේ හෙරොයින් ව්‍යාප්තිය
ලංකාවේ හෙරොයින් භාවිතය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වූයේ අසූව දශකයෙන් පසුවය. සංචාරකයන් හා විදෙස් ගතවී සිට පැමිණෙන්නන් අතර මුලින් හෙරොයින් භාවිතය තිබුණු අතර ඉන් අනතුරුව අගනුවර හා තදාසන්න පැතිවලටත්, සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන පැතිවලත් එය ව්‍යාප්ත විය. ඉන් අනතුරුව ක‍්‍රමයෙන් හෙරොයින් උවදුර මුළු ලංකාවම වෙළා ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පොලිස් කොට්ඨාස 43න්ම හෙරොයින් සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පෙනී යන්නේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම හෙරොයින් ව්‍යාප්ත වී ඇති බවයි.

ලංකාවේ හෙරොයින් භාවිතය
ශ‍්‍රී ලංකාවේ එක්තරා පන්තියකට අයත් පිරිසක් අතීතයේ හෙරොයින් භාවිත කළත් වර්තමානය වන විට හෙරොයින් භාවිතය සම්බන්ධයෙන් වයස් සීමාවක් හෝ පන්ති බේදයක් දැක්විය නොහැකි තත්ත්වයකට පත්ව ඇත. පාසල් සිසුවාගේ සිට ඉහළම වයස් දක්වා පිරිස් හෙරොයින් භාවිත කරති.

ලංකාවේ වැඩි වශයෙන් හෙරොයින් භාවිත කරන්නේ චයින්ස් ක‍්‍රමයටය. එනම් දුම බටයකින් ඉරීමේ ක‍්‍රමයටයි. ඊට අමතරව එන්නත් මගින් විද ගැනීම ද ලංකාවේ සුළු වශයෙන් සිදුවේ. හික්කඩුව, මීගමුව ආදී සංචාරකයන් වැඩියෙන් ගැවසෙන ප‍්‍රදේශ ආශ‍්‍රිතව හෙරොයින් විද ගැනීමේ ක‍්‍රමය භාවිත කරයි.

අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව 2011 වසරේ වීදි මට්ටමින් හෙරොයින් භාවිත කරන්නන් සඳහා දිනකට හෙරොයින් කිලෝ දෙකක් අවශ්‍ය වේ. ඒ අනුව වසරකට හෙරොයින් කිලෝ 763ක් පමණ අවශ්‍ය වේ. ලංකාවේ එතරම් ප‍්‍රමාණයක් හෙරොයින් භාවිත වුවත් අත්අඩංගුවට පත් වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි.

පොලිස් අත්අඩංගුවට ගැනීම් අනුව බලන විට 2011 වසරේදී අවුරුදු 14ට වැඩි ජනගහනයෙන් පුද්ගලයන් ලක්ෂයකට පුද්ගලයන් 96ක් හෙරොයින් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඒ අත්අඩංගුවට පත්වන ප‍්‍රමණය පමණි. භාවිත කරන ප‍්‍රමාණය ඊට බෙහෙවින් වැඩිය.එහෙත් අද වනවිට එය ද  විශාල ප‍්‍රමාණයකින් වැඩි වී ඇත.

2007, 2008, 2009 සහ 2010 යන සිව් වසර ගත් කල අවුරුදු 18ට අඩු ළමයින් 59 දෙනෙක් හෙරොයින් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූහ. 2013 වන විට එම ප‍්‍රමාණය විශාලලෙස වැඩි වී ඇත.

ශ‍්‍රී ලංකාවට ගෙන්වන හෙරොයින් අවසන් පාරිභෝගිකයා හෙවත් කුඩු ගසන්නා අතට පත් වන්නේ තැරැුව්කරුවන් කිහිප දෙනකු අතට පත්වීමෙන් පසුවය. එලෙස පත්වන විට ගෙන්වන ලද හෙරොයින්වලට තවත් විවිධ අහිතකර දෑ එක් කරයි. හෙරොයින්වල ශූද්ධතාව යනු ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු ප‍්‍රමාණයයි. ලංකාවට ගෙන්වන විට වැඩි ප‍්‍රතිශතයක් ඩයි ඇසිටයිල් මෝර්ෆීන් අඩංගු වුවත් විවිධ දෑ එක් කිරීම නිසා වීදි හෙරොයින්වල එම ප‍්‍රතිශතය බොහෝ විට සියයට 30ත් 35ත් අතර වෙයි.

තැරැව්කරුවන් අතින් අතට පත් වෙද්දී ඔවුන් වැඩිපුර ලාබයත් තබා ගැනීම සඳහා හෙරොයින්වල ශූද්ධතාව අඩු කරයි. එනම් ඩිස්ප‍්‍රීන් වැනි විවිධ වර්ග එකතු කරයි.

ලංකාවේ හෙරොයින් මිල
හෙරොයින් යනු නීතියෙන් තහනම් දෙයක් නිසා සත්‍ය වශයෙන්ම ඊට වෙළෙඳ පොළ මිලක් නියම කළ හැකි නොවේ. නමුත් සාමාන්‍යයයෙන් ශ‍්‍රී ලංකාවේ හෙරොයින් කිලෝවක් ලක්ෂ හැටකට පමණ අලෙවිවන බව හඳුනාගෙන ඇත. ඒ අනුව ලංකාවේ හෙරොයින් ග‍්‍රෑම් එකක මිල රුපියල් හය දහසක් පමණ වෙයි. මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මිල ගණන් එසේ වුවත් හෙරොයින් වීදි වටිනාකම ඊට වෙනස්ය.

සුළු පරිමාණයෙන් හෙරොයින්  ව්‍යාපාරය කරන පුද්ගලයකු මීට කලකට පෙර ගම්පහ පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු පොලිසියට කියා ඇත්තේ කොළඹින් රුපියල් 500කට පමණ තමන් හෙරොයින් පැකට්ටුවක් මිලදී ගන්නා බවයි. හෙරොයින් පැකට්ටුවට හෙරොයින් මිලිග‍්‍රෑම් 30ක් පමණ අඩංගු වෙයි. එවැනි පැකට් විස්සක් තිහක් රැගෙන එන ඔහු එවැනි පැකට් දෙකක් එකට එක් කර එම කොටස් දෙකේ අඩංගු හෙරොයින් කොටස් තුනකට කඩා පැකට් තුනක් හදයි. එලෙස සකසන පැකට්ටුවක් රුපියල් 900ත් දහසත් අතර මුදලකට අලෙවි කරයි. ඒ අනුව බැලූ විට වීදි මට්ටමේ හෙරොයින් මිලිග‍්‍රෑම් පහළොවක විස්සක මිල රුපියල් දහසක් පමණ වේ.

හෙරොයින් හා ලංකාවේ නීතිය
1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග (සංශෝධන) පනතට අනුව හෙරොයින් ග‍්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවකු වුවහොත් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කළ හැකිය.

එමෙන්ම හෙරොයින් ග‍්‍රෑම් 1ත් 2ත් අතර ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොඅඩු සහ රුපියල් පන් ලක්ෂයකට නොවැඩි දඩයකට ද, අවුරුදු හතකට නොඅඩු සහ අවුරුදු විස්සකට නොවැඩි කාලයක් දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට ද යටත් කළ හැකිය.

හෙරොයින් ග‍්‍රෑම් එකකට අඩු ප‍්‍රමාණයක් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් රුපියල් පහළොස් දහසකට නොඅඩු, රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට  ද, අවුරුදු තුනකට නොඅඩු, අවුරුදු හතකට නොවැඩි කාලයක් දෙයාකරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට ද ලක් කළ හැකිය.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2012/ 04/18 වැනිදා තමින් සිආර්3/විවිධ05/12 අංකයෙන් පොලිසියට නිකුත් කර ඇති උපදෙස් පත‍්‍රිකාවක දැක්වෙන්නේ ශූද්ධ තාව අනුව හෙරොයින් මිලි ග‍්‍රෑම් පන්සියයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සමග අත්අඩංගුවට ගන්නා සැකකරුවන්හට මහාධිකරණයේ නඩු පැවරිය යුතු බවයි.

හෙරොයින් මිලිග‍්‍රෑම් 500ට අඩු වුවත් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්කි ඇත්නම් හෝ හෙරොයින් සම්බන්ධයෙන් ඇබ්බැහිය නොවන   පෙර වැරදි තුනක් හේ ඊට වැඩියෙන් ඇත්නම් මහාධිකරණයේ නඩු ගොනු කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ජාවාරම් කිරීම හා විකිණීම යනු දෙකක් බවයි. සුළු පරිමාණයෙන් අවසන් පාරිභෝගිකයාට හෙරොයින් අලෙවි කිරීම විකිණීම ලෙස ඔවුන් දක්වා ඇත. එවැනි වැරදි සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරිය යුතුයි.

හෙරොයින් ලංකාවේ වැඩි වශයෙන් ව්‍යාප්තවීම කෙරෙහි ලංකාවේ නීතිය ද බලපා ඇති බව බොහෝදෙනා කියති. ශීඝ‍්‍රයෙන් හෙරොයින් සම්බන්ධ වැරදි ව්‍යාප්ත වන නිසා නීතිය මීට වඩා ශක්තිමක් කළ යුතු බව ඔවුහු පවසති.

ලංකාවේ හෙරොයින් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතන කිහිපයකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, ශ‍්‍රී ලංකා රේගුව, ශ‍්‍රී ලංකා පොලිසිය ඒ අතර ප‍්‍රධාන තැනක් ගනී.

හෙරොයින් අපනයනය
ගුවන් මගින් හා නැව් මගින් ලංකාවට ගෙන ඒමට හෝ ලංකාවෙන් ගෙන යෑමට තැත් කරද්දී 2013 වසරේ ශ‍්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 293 ග‍්‍රෑම් 628කි. ආන්දෝලනයට ලක්වූ කන්ටේනරයෙන් හසුවූ කුඩු කිලෝ 261 ග‍්‍රෑම් 292ක ප‍්‍රමාණය ද ඊට ඇතුළත්ය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 293 කි. ඊට ද කන්ටේනරයේ තුබූ හෙරොයින් කිලෝ 261 ඇතුළත්ය. එය ඉවත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින්  ප‍්‍රමාණය කිලෝ 32කි. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ විවිධ පොලිසි වලින්ද හෙරොයින් විශාල ප‍්‍රමාණයක් පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව බලන කල පෙනී යන්නේ හෙරොයින් ලංකාවට ගෙන්වන්නේ ශ‍්‍රී ලංකාවේ පරිභෝජනයට පමණක් නොවන බවයි.  ඒ බව සනාථ කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ද මේ වනවිට තොරතුරු ලැබෙමින් පවතී.රුපියල් කෝටි විසිහතරක් වටිනා  හෙරොයින් කිලෝග‍්‍රෑම් තිහක් ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැබේ නුවරට රැුගෙන යාමට උත්සාහ කළ තානාපති වරප‍්‍රසාද සහිත ගමන් බලපත‍්‍රයක් හිමි ලයිබීරියානු ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  මීට කලකට පෙර රේගු අත්අඩංගුවට පත් විය. බොහෝ දෙනකුගේ ඇස් ඇරෙන්නට පටන් ගත්තේ ඒ සමගය.

ඔහුගෙන් කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලදී දකුණු පළාතෙන් හමු වූ විශාලම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පසුගිය දෙසැම්බර් 12 වැනිදා හික්කඩුවෙන් සොයා ගත්තේය. එම ප‍්‍රමාණය කිලෝ 10යි ග‍්‍රෑම් 130කි.

මේ වනවිට අනාවරණය වෙමිත් තිබෙන්නේ ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් කර ගනිමින් ලංකාව හරහා වෙනත් රටවලට හෙරොයින් ගෙන යන බවයි. ඊට ලංකාවේ තැරැව්කරුවන් හවුල් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. එමෙන්ම ලංකාවෙන් මත්ද්‍රව්‍ය රැුගෙන වෙනත් රටවලට ඇතුළු වෙද්දී හසුවූ පිරිස් ද වෙති. මත්ද්‍රව්‍ය සම්බන්ධ ආයතනයක නිලධරයකු පැවසුවේ ඇතැම් රටවල් තමන්ගේ රටට මත්ද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් ලංකාවට ඇඟිල්ල දිගු කරන බවයි.

ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව මත් උවදුරට හා මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට ගොදුරුවන ප‍්‍රබල ස්ථානයක ලංකාව පිහිටා ඇත. ලොව බහුල වශයෙන් මත් ද්‍රව්‍ය නිපදවන හා ගෙන යන රන් ත‍්‍රිකෝණය (තායිලන්තය, බුරුමය හා ලා ඕසය) සහ  රන් චන්ද්‍රවංකය (ඉරාණය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය)  ලෙස හඳුන්වන රටවල් අතර ශ‍්‍රී ලංකාව පිහිටා ඇති නිසා ලංකාවේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක්වීමේ අවදානම වැඩි කරයි.  

පොලිසිය හා හෙරොයින්
හෙරොයින් හා පොලිසිය සම්බන්ධයෙන් වැඩි කතා බහක් ඇති වූයේ පසුගිය දා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති හෙරොයින් ග‍්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගැනීමත් සමගය. එලෙස සමාජයේ වැඩි කතා බහක් ඇති වුවත් පොලිසිය හා හෙරොයින් සම්බන්ධ නෑකම තවත් ඈතට දිව යයි.

අත්අඩංගුවට ගන්නා හෙරොයින්වලින් කොටසක් ඉතිරි කරගෙන කොටසකට පමණක් නඩු පැවරීම බොහෝ දෙනා දන්නා රහසකි. ඉන් එහා ගිය සිද්ධි රාශියක් පසුගිය කාලයේ වාර්තා විය. එක්තරා පොලිසියක ස්ථානාධිපතිවරයකුගේ වැඩ තහනම් වූයේ පොලිස් සේප්පුවේ තබා තිබූ හෙරොයින් මත්කුඩු තොගයක් හිටි අඩියේ පාන්පිටි වීමත් සමගය.

තම පොලිසියේ දෙදෙනකු හෙරොයින් සම්බන්ධයෙන් වෙනත් පොලිසියකින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන් සැකකරුවන් ලෙස උසාවියට ඉදිරිපත් කළ පසු සැකකරුවන්ගේ නිර්දෝශීභාවය පිළිබඳ ඉදිරිපත් වූ ස්ථානාධිපතිවරයෙක් ගැන ද පසුගියදා වාර්තා විය.

එක් පසෙකින් පොලිසියේ දෙදෙනකු සැකකරුවන් ලෙස නම් කර එක් පොලිසියකින් අධිකරණයට කරුණු වාර්තා කරද්දී තවත් පොලිසියකින් කළේ ඒ දෙදෙනා නිර්දෝශී බවට ඔප්පු කිරීමට වෙහෙසීමයි. වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වැරදි වැටහීමකින් අනික් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව එම ස්ථානාධිපති කියා තිබුණත් වැටලීම් සඳහා හෙරොයින් භාවිත කළ හැකි බවක් මීට පෙර අප අසා නොතිබිණි. සත්‍ය වශයෙන්ම එම නිලධාරීන් දෙදෙනා වරදක් කර නැතිනම් කළ යුතුව තිබුණේ අත්අඩංගුවට ගත් සැනින් ඒ ගැන උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමයි. විවිධ සිද්ධි සම්බන්ධයෙන් ස්ථානාධිපතිට එරෙහිව ඉහළ උසාවිවල ද නඩු ගොනු විය.

මීට වසරකට පමණ පෙර එක්තරා ප‍්‍රදේශයක ආන්දෝලනාත්මක සිදු වීමක් වාර්තා විය. එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයමින් සිටිය දී එය විමර්ශනය කළ පොලිසියේ ස්ථානාධිපතිට නිර්නාමික ලිපි කිහිපයක් ලැබිණි.  ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් බිස්නස් කරන බවත්, ඔහු දේශපාලනඥයකුගේ වාහනයේ හෙරොයින් ගෙන ගිය බවත්, එම පොලිසියේ නිලධාරියකු ඔවුන්ගෙන් යැපෙන බවත් එම ලිපිවලින් කියැවිණි.


ඊට ටික දිනකට පසු ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් ස්ථානාධිපති ඔහු පොලිස් කූඩුවට නොදා තම කාමරයේ තබා ගනීමට තරම් කෘතඥ විය. එම අවස්ථාවේ සේවා භාරව සිටි පොලිස් සැරයන්වරයකු පොලිස් ස්ථානාධිපතිගේ ක‍්‍රියාව ගැන පොලිස් පොතේ සටහනක් ද දැමීය. ලියුම්වල තිබූ දෑ සත්‍යදැයි සොයනවා වෙනුවට අවසානයේ ස්ථානාධිපති නතර වූයේ එම ලියුම්වල නම් සටහන් වී ඇති පුද්ගලයන්ගෙන් යැපෙන තත්ත්වයට පත් වීමෙනි.

හෙරොයින් හා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නෑකම ගැන කීමට තවත් කතා රාශියකි.

හෙරොයින් අපරාධ හා පොලිසිය 
හෙරොයින් භාවිතය නිසා ශ‍්‍රී ලංකාවේ අපරාධ වැඩිවී ඇතැයි සමාජ විද්‍යාඥයෝ කියති. හෙරොයින් නොමැතිකම නිසා ඇතිවන පීඩනය මැඩ ගැනීම සඳහා ප‍්‍රචණ්ඩත්වයට යොමුවන පිරිස් නිසා අපරාධ සිදුවීම එක් හේතුවකි. අනෙක් හේතුව වන්නේ හෙරොයින් මිලදී ගැනීමට අධික මුදලක් වැයවන නිසා ඒ වෙනුවෙන් මුදල් උපයා ගැනීම විවිධ අපරාධ කිරීමයි.

සුළු සුළු දේ සොරා ගැනීමේ සිට මිනීමැරුම් දක්වා එම අපරාධ ව්‍යාප්ත වන බව කියති. බොහෝ අපරාධවලට අත්අඩංගුවට ගන්නා වැඩි දෙනෙක් හෙරොයින් සඳහා ඇබ්බැහිවූවන් ලෙස සොයාගෙන ඇත.

වෛද්‍යවරයකු පැවසුවේ හෙරොයින් භාවිත කරන්නන් එය නවත්වන්නට උත්සාහ කරද්දී හෙරොයින් ජාවාරම්කරුවන් ඔවුනට නොමිලයේ හෙරොයින් ලබා දෙමින් ඊට නැවත හුරු කිරීමට උත්සාහ කරන බවයි. බන්ධනාගාරගතවී සිටියදී පවා ඔවුන්ට හෙරොයින් ලැබීමට සලස්වන ක‍්‍රම ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහාය ද ඊට ලැබෙන බව පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් සමඟ පෙනී යයි. හෙරොයින් සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ලංකාවේ ඇති මධ්‍යස්ථාන ප‍්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා විශේෂිත වූ මධ්‍යස්ථාන ඇති කළ යුතුය. හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගත නොහැකි බවට ඇති මතය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බවත් හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ඉන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි බවත් වෛද්‍යවරු කියති.

හෙරොයින් භාවිත කර එය නැවැත්වූ සැණින් ඇතිවන විරමණ ලක්ෂණ නිසා දිගින් දිගටම හෙරොයින් භාවිතයට යොමු වේ. වෛද්‍යවරු කියනුවේ එම විරමන ලක්ෂණ පවතින්නේ ටික දිනක් පමණක් බවයි. ඉන් පසු විරමණ ලක්ෂණ පහව යන බව වෛද්‍යවරු කියති. පොලිසිය කියනුයේ පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් හා ඇවතුම් පැවතුම් දෙස බැලූ විට හෙරොයින්වලට ඇබ්බැහි වූවන් හදුනා ගත හැකි බවයි.

හෙරොයින් සම්බන්ධයෙන් සමාජයේ වැඩි කතා බහකට ලක්වෙන දේශපාලකයෝද වෙති. ඒ අතර හලාවත, ගම්පහ සහ කොළඹ දිස්ති‍්‍රක්කවල දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනකුගේ නම් ඉදිරියෙන් ඇත. කුරුණෑගල, පොල්ගහවෙල ප‍්‍රදේශවල වැඩි වශයෙන් හෙරොයින් ව්‍යාප්ත වෙමින් පැවැතීමට පොලිසියේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලිය යුතුය.

මීගමු වෙරළින් හෙරොයින් ගෙන එන බව කියනුයේද දේශපාලනයට සම්බන්ධ පිරිස් බව ඇතැම්මු කියති. එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියටයි. 

No comments:

Post a Comment

Post Bottom Ad