උරේෂා ගැන ඇයගේ පියා කියන කතා - GOSSIP9.WORLD

Post Top Ad

උරේෂා ගැන ඇයගේ පියා කියන කතා

Share This
සිය දියණිය ගැන ආඩම්බරයෙන් කතා කරන්න හැම තාත්තෙක්ටම පුළුවන් කමක් නෑ..... එයට අවස්තාවක් උදාවෙන්නෙත් බොහොම කළාතුරකින්. ඒත් ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ආඩම්බරකාර තාත්තෙක්. උරේෂා රවිහාරි වූ සිය දියණිය ගැන පුවත්පත් හමුවක් හා එක් වූ ඔහු කතාකර තිබුණේ පුදුමාකාර ආඩම්බරයකිනි.

" දුව ලැබෙන්න ඉන්න කාලේ දුවෙක්ද පුතෙක්ද ලැබෙන්නේ කියලා ඒ කාලේ ස්කෑන් කරලා බලන්න බෑනේ. ඉතින් දරුවා ලැබෙන කල් හරිම කුතුහලයෙන් තමයි අපි හිටියේ. දුව ඉපදෙන වෙලාවේ මම අසනීපයෙන් හිටියේ. ඒ නිසා හොස්පිට්ල් එකට යන්න බැරි වුණා. ඒත් දුවෙක් ලැබුණා කිව්වම කියාගන්න බැරි සතුටක් ඇති වුණේ. 

ආරංචිය ආපු ගමන් මම ටවුන් එකට ගිහින් දුවට කොට් එකක් අරගෙන ආවා. ඇත්තටම මම කැමැත්තෙන් හිටියේ දුවෙක් ලැබෙනවට. ඒත් මගේ බිරිය පුතෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් ඉස් ඉස්සෙල්ලාම දුවෙක් ලැබුණු එක වාසනාවක් කියලා මායි, බිරියයි දෙන්නම සතුටින් හිටියේ.

දුව මටයි, බිරියටයි ගොඩක් ආදරෙයි. පොඩි කාලේ ඉඳන් මම දුවට අතක් උස්සලා නෑ..... ඒත් දුව මට ආදරෙයි වගේම බයයි. දුවට විවාහ යෝජනා ආවා ධනකුවේරයන්ගෙන්. ඔවුන් විවාහ වෙලා විදේශ ගතවෙන්නයි කැමැති වුණේ. නමුත් දුව අපිට තියෙන ආදරය නිසා අපිව තනිකරලා යන්න කැමැති වුණේ නැහැ.


දුවව දැක්ක ගමන් හැමෝම කියන්නේ දුව මම වගේ කියලා.... දුව එයාගේ අම්මා එක්ක යනකොට ඒ කවුද? කියලා දුවගෙන් අහනවලු. හැබැයි දුවව දැක්ක ගමන් ඒ මගේ දුව කියලා හැඩහුරුකමෙන්ම හැමෝම දැන ගන්නවා.


උරේෂා බොහොම හුරතල් චරිතයක්. මට මතකයි පුංචි කාලේ අම්මගේ සාරියකුත් ඇඳගෙන කොහෙන් හරි සුදු හුනු කෑල්ලකුත් හොයාගෙන කුස්සියේ ලෑලි දොරේ අකුරු ලියලා මල්ලිට උගන්වනවා. ආ ..... තව මට මතකයි අක්කයි, මල්ලියි එකතුවෙලා ගෙදර පෝස්ට් ඔෆිස් එකක් හදාගෙන හිටියා සෙල්ලමට. හරිම සුන්දරයි ඒ හැම මතකයක්ම.


දුව ලොකු වුණාම කවුරු වෙයිද කියලා හීන තිබ්බේ නෑ..... ඒත් මගේ බිරියට දුව ගායිකාවක් කරන්න හීනයක් තිබ්බා. උරේෂගේ අම්මට හොඳට ගීත කියන්න පුළුවන්. ඒ නිසා එයා හැම තිස්සෙම කිව්වේ එයාට ගායිකාවක් වෙන්න බැරිවුණාට දුවව සුජාතා, ලතා, ඇන්ජලින් වගේ ගායිකාවක් කරනවා කියලා. දුවත් පුංචි කාලේ ඉඳන් ලස්සනට ගීත කියන නිසා ගායිකාවක් වෙයි කියලා හිතුණා.


මම තමයි ඒ කාලේ ජෝති රාත්‍රිය කළේ. ඉතිං ඒ කාලේ ඉඳන්ම ජෝති, සුජාතා, ඇන්ජලින් වගේ ගීත ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස් අපේ ගෙදර ආවා ගියා. කාලයක් ගියාම සුජාතා අපේ ගෙදර අනෙක්ස් එකේ සංගීත පන්තියක් දැම්මා. දුවට සින්දු කියන්න පුරුදු කරවන්න කියලා බිරිය තමයි සුජාතට කිව්වේ. දවසක් දුව සුජාතා ඉස්සරහා සින්දුවක් කිව්වම දුවගේ හඬ හොඳයි කියලා පන්තියට එවන්න කියලා කිව්වේ සුජාතා. එදා ඉඳන් සුජාතා මගේ දුවගේ සංගීත උගන්වන මුල් ගුරුවරිය වුණා.


සුජාතයි,ටෝනි හසනුයි චිත්‍රපටයකට කියපු "ජයෙන් ජයවේ..." ගීතයේ පේළි දෙකක් දුව කිව්වා. ඒක තමයි පටිගත කිරීමක දී මම දුවගේ දක්‍ෂකම දැක්ක මුල්ම අවස්ථාව.


මම චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණායින් පස්සේ මගේ 'මල්සර දෝණි' කියන චිත්‍රපටයේ ගීතාගේ නංගි විදියට මගේ දුව තමයි රඟපෑවේ. ඒ චිත්‍රපටයේ දුව කියපු 'උන්නා එක ගංගාවක' ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ 'සලඹක් හඬයි' චිත්‍රපටයේ තේමා ගීතය ලතා සහ මගේ දුව තමයි කිව්වේ.


මම චිත්‍රපට 8ක් කළා. ඒ හැම එකකම දුව ගීත කිව්වා. දුවට අවුරුදු දහතුනක් වෙන කොට දුව පසුබිම් ගායනයටත් එකතු වුණා. මගේ චිත්‍රපටවල පසුබිම් ගායනයෙන් පස්සේ පිටතින් ගොඩක් ආරාධනා ලැබුණා. දැන් මේ වෙනකොට දුව චිත්‍රපට 90ක විතර ප්‍රධාන පසුබිම් ගායිකාව වෙලා තියෙනවා.


මම හැමදාම දුවට කිව්වේ ධර්මශ්‍රී ගේ දුව කියන්න ඉඩ තියන්න එපා. උරේෂාගේ තාත්තා ලෙස මාව හඳුන්වන්න ඉඩ තියන්න කියලා. ඒ කාලේ මාව දැනගෙන හිටියට අද පරපුරේ අය මාව අඳුරන්නේ උරේෂාගේ තාත්තා කියලා. ඒක මට ආඩම්බරයක්. මම ගුවන් විදුලියේ වැඩ කළාට මම එක විදේශ රටකටවත් ගිහින් තිබුණේ නෑ..... දුව විවාහ වෙනකල්ම දුවගේ ආරක්‍ෂිතයා වුණ මට දුවත් එක්ක රටවල් විස්සකට, තිහකට යන්නත් ලැබුණා.


දුව 2004 දී විතර ජනාධිපති සම්මානය දිනා ගත්තා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි සම්මාන ප්‍රධානය සිදුවුණේ. ඒ සම්මාන උළෙලදී හොඳම ගායිකාව විදියට දුවගේ නම කිව්වම මටයි බිරියටයි ලොකු අභිමානයක් සහ කියා ගන්න බැරි සතුටක් දැනුණේ. ඊට පස්සේ අස්ථා ගණනාවකදීම දුව සම්මානනීය වුණා.


දුව විවාහ වෙනකල්ම දුවගේ හැමදේකම පස්සෙන් මම හිටියා. මෙච්චර කල් හුරතලයෙන් ඉඳලා ආදරය ලබපු දුව අපෙන් ඈත්වෙලා යනකොට සෑහෙන දුකක් දැනුණා. පෝරුවේ නග්ගලා අෂ්ටක කියන වෙලාවේ තාත්තා අම්මගේ රැකවරණයේ ඉඳලා ඒ කැදැල්ලෙන් මිදිලා දියණිය අද යනවා කිව්වම මගේ බිරිය කඳුළු සලසල ඇඬුවා. ඇත්තටම ඒ වෙලාවේ මගේ ඇසුත් කඳුළින් තෙමිලයි තිබුණේ.


දුවට පුතෙක් ලැබෙන්න කලින් මම මගේ පුතා නිසා සීයා කෙනෙක් වෙලා හිටියේ. ඒත් දුවට පුතෙක් ඉපදීම විශේෂයි. මගේ මුණුපුරාටත් තියෙන්නෙත් මගේ දුවට හුරු රූපයක්. ඉතින් මුණුපුරා දකින කොට හිතෙනවා අපි හුරතල් කරපු දුවම නේද මේ කියලා. ඇරපු අතක් නෑ දුව වගේමයි. අපිට ඒ පුංචි පුතත් ලොකු සතුටක් ගෙනාවා.

No comments:

Post a Comment

Post Bottom Ad