කටුගෙයි කඩුව නැති වුණා වගේ මහින්ද චින්තනයත් අතුරුදහන් වෙලා - ගයන්ත - GOSSIP9.WORLD

Post Top Ad

කටුගෙයි කඩුව නැති වුණා වගේ මහින්ද චින්තනයත් අතුරුදහන් වෙලා - ගයන්ත

Share This
කටුගෙයි කඩුව නැති වූවා සේ මහින්ද චින්තන පොතත් මේ වන විට අතුරුදහන් වී ඇති බව එ.ජා.ප. මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. 

මහින්ද චින්තනයේ සඳහන් කරුණු කාරනා පිළිබඳව මේ වන විට කිසිදු කතා බහක් ආණ්ඩුවේ නොමැති බව අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. 

එසේම පවත්නා ආණ්ඩුව විසින් ගරිල්ලා මාකටින් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවත්, 2014 සඳහා ඉදිරිපත් කළ අය වැය හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව කලකිරී ඇති බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය. 

තවද මේ ආණ්ඩුවේ අය වැය මගින් බල්ලන්ට පවා සහන ලබා දී ඇති බවත්, මෙරටේ සිටින ජනතාව මිරිඟුවක් පසු පස දුවනවා සේ සහන ලැබෙනු ඇති බව සිතමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුනනේය. 

මෙරට පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ වියදම් සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විමසූ විට කසාය බොන ලද ගොලුවෝ ලෙස ඇමතිවරු සිටින බවත්, ආණ්ඩුවේ අනවශ්‍ය වැඩ කටයුතු හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් මැති ඇමතිවරු පවා කලකිරීමෙන් සිටින බවත් ‍ඔහු එම අවස්ථාවේදී අවධාරණය කළේය. 

නගර සභා සහ ප්‍රාදේශීය සභා වල අයවැය දිගින් දිගටම ආණ්ඩුව පරාජයට පත්වන බවත්,ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභා වල සිටින මන්ත්‍රීවරු පවා ආණ්ඩුව කෙරෙහි කලකිරීමකින් සිටීම හේතුවෙන් මෙලෙස අයවැය දිගින් දිගටම පරදින බවත්, ඒ මහතා කියා සිටියේය. 

‍මේ දින වල කොළඹ නගරය පූරා ඇති මාර්ගවල වැලි කොට්ට දමා ඇති බවත්, යුද සමයේ යාපනය නගරය සේ කොළඹ නගරය මේ දිනවල පෙනෙන බවත් කරුණාතිලක මහතා එහිදී කීවේය. 

එසේම ඊයේ (10) එ.ජා.ප. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ බවත්, එහිදී යෝජනා 4ක් ඉදිරිපත් වූ බවත් හෙතෙම කියා සිටියේය. 

නායකත්ව මණ්ඩය ක්‍රියා කිරීම හා බලතල පැවරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කිරීමට බල කිරීමට කටයුතු කිරීම , ජීවන බර අඩු කරලීම සඳහා ආණ්ඩුවට බල කිරීම සහ පක්ෂයේ සියලු දෙනා එකම මතයක සිටීම පිළිබඳව ඊයේ (10) කෘත්‍යාධිකරී මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ බව ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad