සුදු වෑන් රියකින් පැහැරගත් මධුෂ්ක ගැන හරියටම මාස දෙකකට පසු බිරිඳට ලිපියක්‌ - GOSSIP9.WORLD

Post Top Ad

සුදු වෑන් රියකින් පැහැරගත් මධුෂ්ක ගැන හරියටම මාස දෙකකට පසු බිරිඳට ලිපියක්‌

Share This
අනුරාධපුර ගෙවල් 55, සුහදපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි විවාහකයකු වන මධුෂ්ක හරිෂ් ද සිල්වා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කොට හරියටම මාස දෙකක්‌ සම්පූර්ණ වූ 02 දා රාත්‍රියේ මධුෂ්කගේ බිරිඳට ලිපියක්‌ ලැබී තිබේ.

"ඔහු පැහැරගෙන ගිය පුද්ගලයන් විසින් ඝාතනය කොට ඔහුගේ සිරුර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කැලයට රැගෙන ගියා" යනුවෙන් සඳහන් කරමින් කිසියම් පුද්ගලයකු විසින් මධුෂ්කගේ බිරිඳට තාවකාලිකව පදිංචිව සිටින අනුරාධපුර බුලන්කුලම දිසා මාවතේ පිහිටි නිවසේ ප්‍රධාන දොර අසල එම ලිපිය දමා ගොස්‌ තිබියදී හමුවී තිබේ.
02 දා රාත්‍රි 11.15 ට පමණ මෙසේ එම ලිපිය දමා ගොස්‌ ඇත.

එම අවස්‌ථාවේ තමා සහ තම මව කුලී පදනම මත පදිංචිව සිටින නිවස ඉදිරිපිට කිසියම් පුද්ගලයකු ගමන් කරන අඩි ශබ්දයක්‌ ඇසීම සහ දුම්වැටියක දුම් ගඳ වහනය වීම නිසා ඒ බව අතුරුදන්ව සිටින මධුෂ්කගේ බිරිඳ වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන මහත්මිය විසින් මධුෂ්කගේ ඥති මාමා කෙනකු වෙත දුරකථනයෙන් දැනුම් දී තිබේ.

ඇමතුම ලද වහාම මධුෂ්කගේ මාමා සහ තවත් පුද්ගලයකු එහි ගොස්‌ පරීක්‍ෂා කර බැලීමේදී නිවස අසල කිසිවකු සිට නැත. මධුෂ්කගේ බිරිඳට කතා කර නිවසේ ප්‍රධාන දොර විවෘත කොට පරීක්‍ෂා කර බැලීමේදී දොරට යටින් නිවස තුළට දමා ගොස්‌ තිබූ ලිපිය ඔවුනට හමුවී ඇත.

ඉංග්‍රීසි බසින් ලියා තිබූ එම ලිපියේ "අපි ඔබට නිතරම කිව්වා. නමුත් ඔබලා මධුෂ්ක ගැන සෙවීම කල් ගියා. මෙය රහසක්‌ පමණයි. මිස්‌ට අපි නිතරම දැනුම් දුන්නා. අපි කීප විටක්‌ම කිව්වා. ඔබව දැනුවත් කළා. මෙය එයාල දැනගත්තොත් අපට ප්‍රශ්නයක්‌ වෙයි. හෙටම ක්‍රියාත්මක කරන්න. ඔහුගේ බොඩි එක විල්පත්තුව කැලේට අරන් ගියා. ලොකු බලපෑමක්‌ ඉක්‌මන් කරන්න" යෑයි සඳහන් කොට තිබිණි.

පසුව මේ පිළිබඳව මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ බිරිඳ හා පවුලේ ඥතීන් 03 දා අලුයම් කාලයේ ක්‍රියාත්මක වී අනුරාධපුර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

එහෙත් මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැරගෙන ගොස්‌ අතුරුදන් කොට ගත වූ මාස දෙකක කාලය තුළ අනුරාධපුර පොලිසිය ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ පිළිබඳ තමන් තුළ කිසිදු පැහැදීමක්‌ නොමැති බවත්, මෙතෙක්‌ සිදුකළ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක්‌ නොමැතිවීම නිසා මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැරගෙන යැමේ සිද්ධියට පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය ගැන සැකයක්‌ මතුව ඇති බවත් ඔහුගේ ඥතීහු "දිවයින" ට පැවසූහ.

මේ අතර තම සැමියාට සිදු වූ දේ කුමක්‌ද යන්න අබිරහසක්‌ බවට සහ තම සැමියා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ 02 දාට මාස දෙකක්‌ ගතවී ඇතත් පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ නොකරන බවට චෝදනා කරමින් සහ අතුරුදන් වූ තම සැමියා සොයා දෙන ලෙස ඉල්ලා සිටිමින් මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ බිරිඳ වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන මහත්මිය 03 දා පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ භාරදෙමින් ඉල්ලා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad