මහනුවර රෝහලේ පිළිකා වාට්ටුව අධ්‍යක්ෂගේ නිල නිවසේ - GOSSIP9.WORLD

Post Top Ad

මහනුවර රෝහලේ පිළිකා වාට්ටුව අධ්‍යක්ෂගේ නිල නිවසේ

Share This
ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධානතම මහ රෝහලේ පිළිකා වාට්ටුව රෝහලට පරිබාහිරව පිහිටි රෝහල් අධ්‍යක්ෂකවරයාගේ නිල නිවසේ පවත්වා ගෙන යාමට සිදුවීම හේතුවෙන් රෝගීන් බරපතල දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටින බව රෝගීන් සහ රෝහල් බලධාරීහු පවසති.

මහනුවර මහ රෝහලේ කාන්තා සහ පිරිමි වශයෙන් පිළිකා වාට්ටු දෙකක්ම තිබුනත්, දිනපතාම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දෙසිය පනහකට ආසන්න පිරිස වෙනුවෙන් එහි ඇඳන් තිබෙන්නේ හැත්තෑ දෙකක් පමණයි.


එවැනි අවම පහසුකම් මධ්‍යයේත් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ ගුණාත්මක ප්‍රතිකාර හේතුවෙන් තමන් මහනුවර මහ රෝහලට පැමිණෙන බව රෝගීහු බීබීසී සංදේශයට පැවසූහ.


"හැමදාම පුටුවල ඉදන් තමයි බෙහෙත් විදින්නේ. අමාරු ලෙඩෙකුට වුනත් කලාතුරකින් තමයි ඇඳක් හම්බ වෙන්නේ," යනුවෙන් එක් රෝගී කාන්තාවක් මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සමඟ කියා සිටියාය.


"අපි නිදා ගන්නෙත් ලෙඩ්ඩු ටොයිලට් එකට යන එන පාරේ. සමහර වෙලාවට ලෙඩ්ඩුන්ට එතන වමනේ යනවා."

සැතපෙන්නට යහනක් නැති නිසා ඇඳන් යට සහ මිදුලේ ද රැඳී සිටින රෝගීන්ට අව්ව සහ වැස්සෙන් ද පීඩා විඳීමට සිදු වී ඇති බවත් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නට දැක ගන්නට ලැබිණ.

අධ්‍යක්ෂකවරයාගේ නිල නිවසේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දිනපතාම පාහේ රෝහලට යාමට සිදුවීම පිළිකා රෝගීන් මුහුණදෙන තවත් බරපතල ගැටලුවක්.


"කන්ද නැග ගෙන එන්න පිළිකා රෝගීන්ට බැහැ. රෝගීන්ට ඇම්බියුලන්ස් දෙන්න රෝහලට විදියකුත් නැහැ," යනුවෙන් තවත් රෝගී කාන්තාවක් කියා සිටියාය.



දැනට රෝගීන්ට විඳීමට සිදු වී තිබෙන අපහසුතාවය ඉතා ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්එම්එස්කේ රත්නායක සංදේශයට පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad