කම්හලෙන් මිනිස්සුන්ට බටර් ගානවද?:රතුපස්වල පවුල් 25 කට කම්හලෙන් උදව් - GOSSIP9.WORLD

Post Top Ad

කම්හලෙන් මිනිස්සුන්ට බටර් ගානවද?:රතුපස්වල පවුල් 25 කට කම්හලෙන් උදව්

Share This
වැලිවේරිය  රතුපස්වල අවට ගැමියන් විසින් පිරිසිදු ජලය ඉල්ලා  කළ උද්ඝෝෂණයේදී  යුධ හමුදාව සහ ගැමියන් අතර ඇති වු ගැටුමේදී  වෙඩි වැදීමෙන්  තුවාල ලබා ඉතා අසරණ  වු  පවුල්  25 ක, ජීවිත යළි නගා සිටුවීමට පියවර ගත් බව  රතුපස්වල රබර් අත්වැසුම් කම්හළේ කලමනාකාර අධ්‍යක්ෂක ආචාර්‍ය මහේෂ් රණසෝම මහතා අද පැවසුවේය.
මීට දින කිහිපයකට පෙර හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා පෞද්ගලිකවම  වැලිවේරිය ගැටුමේදී  වෙඩි වැදී තුවාල ලැබුවන්ගේ නිවෙස් කිහිපයකට ගොස්  ගොස් රැකියාවක් පවා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති පවුල් සඳහා ජීවත්විමට යම් පරිත්‍යාගයක් කරන බව පොරොන්දු වී ඇත.
ඒ අනුව අද වැලිවේරියට පැමිණි  වෙනිග්‍රොස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක  ආචාර්ය මහේෂ් රණසෝම මහතා ඇතුලූ කළමනාකාරිත්වය විසින් ගෙන් ගෙට ගොස් තෝරාගත් පවුල් විසි පහක් සඳහා මුදල් පරිත්‍යාග කළේය.

ඔවුන්ම  මුලින්ම ගියේ වැලිවේරියේදී වෙඩි වැදීමෙන් ඉතාමත් අසාධ්‍යව මාස දෙක හමාරක් පමණ රෝහල් ගතව සිට උකුල් ඇටයද බද්ධ කර සදාකාලික ආබාධිත තත්වයට  පත් වු මෙලන් චින්තක පෙරේරාගේ(43)  මහතාගේ නිවසටයි.

එහි ගිය රණසෝම මහතා  ලංකාදීපයට පැවසුවේ 

‘‘ ඉස්සල්ලම මම මාධ්‍යයෙන් ඉල්ලනවා මේක වන්දි මුදලක්  කියලා  හඳුන්වන්න එපා.  අපි කළේ මේ පවුල් වල අසරණ කම ගැන බලලා ප‍්‍රජා සත්කාරයන් විදියට යම් පරිත්‍යාගයක් කිරීම විතරයි.
 මෙහිදී තුවාල වු අයගේ පවුල් සමග අපි සාකච්ඡා  කළා.  ඔවුන් බොහෝ අසරන තත්වයකයි හිටියේ. සමහරු මේ සිදුවීම නිසා රැකියාවක් පවා කර ගත නොහැකි තත්වයට  පත් වෙලා හිටියා. ඒ නිසා ඔවුන් ගැන සානුකම්පිතව  සොයාබලා යම් කිසි සහනයක් ලබා දෙන්න  ඕනා කියලා අපි තීරණය කලා.  ඒ අනුව අපි තීරණය කළා ඉතාමත් අසරණව ඉන්න පවුල් 25 කට මුදල් පරිත්‍යාග කරන්න. සමහරු කියන්න පුළුවන් අපි මේ පරිත්‍යාගයන් කළේ  යටි අරමුණු ඇතිවයි  කියලා. 
ඒත්   අපේ සභාපති තුමා මේ පවුල් වලට කියලා ගිහින් තිබුනා කර්මාන්ත ශාලාව ඇරියත් නැතත් ප‍්‍රජා සත්කාරයක් විදියට මේ පවුල් වලට සහනයක්  ලබා දෙනවා කියා.  අපි බලාපොරොත්තු වෙනවා  මෙයින්  සැමට යහපතක් වෙයි  කියා.‘‘

වැලිවේරියේදි යුධ හමුදාව හා ගැමියන් අතර ගැටුමේදී  වෙඩි වැදිමෙන් තුවාල ලබා  පුර්ණ අබාධිත තත්වයට පත්වු   වැලිවේරියේ  මෙලන් චින්තක මහතා කර්මාන්ත ශාලාව විසින් ලබා දුන් පරිත්‍යාගය ලබා ගනිමින් මෙසේ
පැවසුවේය.
  
‘‘ මේ වෙන කම් රජයෙන් හෝ කිසිම සංවිධානයකින් තුවාල වු අපි ගැන  සොයා බැලූවේ නැහැ. මට දැන්  රැකියාවක් පවා කරගන්න බැහැ.  මම කලින් හිටියේ යුධ හමුදාවේ. උතුරු යුද්දෙයේදී තුන් වතාවක් මට වෙඩි වැදුනා. 
පස්සේ මම යුධ හමුදාවෙන් අයින් වෙලා ත‍්‍රිරෝද රියක් අරගෙන වැලිවේරියේ හංදියේ දාගෙන හයර් කළා. ඒක ගත්තේ ලීසිං වලට.
මට වැඩි වැදිලා මාස දෙකහමාරක් විතර  ගම්පහ රෝහලේත් කොළඹ රෝහලෙත් හිටියා.  මගේ උකුල් ඇටය අයින් කරලා සුදු යකඩ වලින් මට උකුල් ඇටයක් දාලා තියෙන්නේ. මගේ ජීවිත කාලයටම මා අබ්බගාතයෙක් විදියට තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ.
මා අසනිප වීම නිසා මගේ ත‍්‍රී රෝද රියේ වාරික ගෙවීම අතපසු වුනා. ඒ වුනත් වැලිවේරියේ අහල පහල අයත් මගේ මිතුරනුත් එකතුවෙලා ඒ හිග මුදල් ගෙව්වා. ඒ වගේම මට කුඩා දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පවුලේ වියදම වගේම ඒ දරුවන්ගේ අසනීප වලටත් මගේ අසනීපයටත් මට පිහිටවුනේ පල්ලියත් ගමත්  මගේ මිතුරනුත් විතරයි.
දැන් දැන්  රතුපස්වල එක එක සංවිධාන බිහි වෙලා තියෙනවා. මේ වෙනකම් අපිට වන්දියක් ලබා දෙන්න කිසි කෙනෙක් කටයුතු කර නැහැ. අඩුම තරමේ ඒ සංවිධාන වල නියෝජිතයෝ වත් අපිට බලන්න ආවේ නැහැ.
අද වෙනකොට අපි හැම අතටම නය වෙලා  හිටියේ. හැමදාම ගමේ  අයට බරක් වෙන්න බැරි නිසා ඇත්තටම මට ජීවිතය එපා වෙලා තිබුනා. ඔය අතරෙදි තමයි දැන් දවස් තුන හතරකට කලින් හේලීස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පන්ඩිතගේ මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් අපේ ගෙදර ඇවිත් මට සිදු වු දේට කනගාටුව ප‍්‍රකාශ කළා.මම ඉන්න තත්වය දැකලා මට යම් සහනාදායී මුදලක් පරිතයාග කරන බව කිව්වා. මා දැන් පත්වෙලා ඉන්න තත්වය අනුව එයත් මට වටිනවා. ඒ ගැන මම එම ආයතනයට ස්තුති වන්ත වෙනවා.
එහෙම වුනත් මට වුන ආබාධිත තත්වය අනුව  මේ ජීවිත කාලෙදි කිසිම වැඩක් පලක් කරන්න බැහැ. මේ ලැබුන මුදලට මගේ ආබාදිත තත්වය හිලව් කරන්න බැහැ. ඒ වුනත් වෙලාවේ හැටයට මට නය තුරුස් බේරගන්න හරි මේක ලොකු දෙයක්.මේ සිද්ධියේදී තුවාල ලැබුවන් ගැන රජය සොයා බැලිය යුතුයි.   මා මේ රජය වෙනුවෙන් මැයි පෙළපාළි  පවා ගිය. ඒ නිසා මම බලාපොරොත්තු වුනා අපි ගැන පාක්ෂිකයෝ  හැටියට හිතලවත් රජෙයෙන් බලයි කියලා. මේ වන තුරු කිසිවෙක් ආවේ නැහැ. හැමෝටම අපි ගැන අමතක වෙලා තියෙන්නේ.  රජයට වුනත් යුතුකමක් තියෙනවා තුවාල වෙලා අන්ත අසරණ තත්වයට වැටුන අය ගැනවත් අඩුම තරමේ හොයලා බලන්න.
එදා වැලිවේරියේ  තිබුන උද්ඝෝෂණයට ගමේ අහළ පහළ අය ගිය නිසා තමයි මමත් බලන්න ගියේ.   යුධ හමුදාව වෙඩි තියනකොට මම පාරෙන් අයින් වුනා. ඒත් ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙක් මා ඉස්සරහම සිටින නිසා මා පාරට බැස ඔවුන්ට අයින් වෙන්න කිව්වා.  මට වෙඩි වැදුනේ ඒ අවස්ථාවෙදි‘‘.


 Pictures from Lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad